ලුම්බිණි, සාන්ත ඇන්තනි ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරයි

325
Singer Schools Cricket September 27th round up

අද (27) පැවති වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ තරග වලින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන්නට ලුම්බිණි විද්‍යාලය සහ සාන්ත ඇන්තනි විද්‍යාලය සමත් විය. අද ක්‍රියාත්මක වූ මෙම කාණ්ඩයේ ඉතිරි තරග දෙක හෙට දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

පසුගිය ලිපි: මාරිස්ටෙලා විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක්

ලුම්බිණි විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක වූ  මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් ලුම්බිණියට හිමිවිය. ඒ ලකුණු 18ක් තරම් සුළු පරතරයකිනි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත් මහානාම විද්‍යාලයේ බලාපොරොත්තු ඉහළ නංවමින් ලුම්බිණි ප්‍රථම ඉනිම ලකුණු 216කට නිමා කරන්නට ඔවුන්ට හැකි විය. එහිදී තනුක දාබරේ අර්ධ ශතකයක් ද චරිත් මිහිරංග ලකුණු 36ක් ද රැස් කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී නිදූක වැලිකල (3/48) හා හෂාන් සන්දීප (2/41) අතරේ කඩුලු 5ක් බෙදී ගියේය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන මහානාම පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 51ක් ලබා සිටියහ. නමුත් අද දිනයේදී ලුම්බිණි විද්‍යාලයේ පන්දු යවන්නන්ගේ උපක්‍රමශීලී පන්දු යැවීම හමුවේ සිය ඉනිම ලකුණු 198කට නිමා කරන්නට ඔවුන්ට සිදුවිය. මහානාම විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල කවිඳු මුණසිංහ ලකුණු 84ක් රැස් කිරීමට සමත් විය. විහාන් මුදලිගේ ලකුණු 34යි. පන්දු යැවීමේ දී තානුක දාබරේ කඩුලු 4ක් ද, විමුක්ති කුලතුංග කඩුලු 3ක් ද බිඳ හෙලන ලදී.

ප්‍රථම ඉනිමේ වාසියත් සමඟින් පිටියට පිවිසි ලුම්බිණි පිතිකරුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් තරගය නිමාවන විට සියල්ලන්ම දැවී ලකුණු 155ක් රැස් කරගෙන සිටියහ. මහානාම විද්‍යාලයට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්නට තරම් කාලයක් ඉතිරිව නොතිබුණු හෙයින් ප්‍රථම ඉනිමේ තියුණු ජයක් ලුම්බිණි විද්‍යාලයට හිමිවිය.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 216 (පන්දුවාර 70.5)

තානුක දාබරේ 50, චරිත් මිහිරංග 36, තරිඳු සංජීව 34, කණිෂ්ක මදුවන්ත 20, නිදුක වැලිකල 3/48.

මහානාම විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 198 (පන්දුවාර 68.2)

කවිඳු මුණසිංහ 84, විහාන් මුදලිගේ 34, චලිත සුබසිංහ 20, මලිඳු මදුරංග 18, තානුක දාබරේ 4/53, විමුක්ති කුලතුංග 3/51.

ලුම්බිණි විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 38.1)

රොවීන් පීරිස් 36, කවීන් පීරිස් 31, විනූ හේමාල් 21, තානුක දාබරේ 16, රවීෂ සත්සර 15, හෂාන් සන්දීප 3/17, විහාන් මුදලිගේ 3/21, නිදූක වැලිකල 2/29, පැතුම් බොතේජු 2/38.


කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය සහ වත්තල සාන්ත ඇන්තනි විද්‍යාලය අතර තරගය

වත්තල සාන්ත ඇන්තනි විදුහල් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් සාන්ත තෝමස් පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 136ක් තුලදී දැවී ගියහ. අරුක්ෂ මනුල ලකුණු 36ක් රැස් කරද්දී දක්ෂ ලෙස පන්දු යැවීමේ නිරත වුනු ජයවීර සහ දුලාංජන සාන්ත තෝමස් පිතිකරුවන් සත් දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වූහ.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ඇන්තනි පිතිකරුවෝ ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 114ක් රැස් කරගෙන සිටියහ. නමුත් අද උදෑසන දෙවැනි දිනයට තරගය ආරම්භ කල විට ඊයේ දිනයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කල ඇන්තනි පිතිකරුවෝ සාන්ත තෝමස් ප්‍රථම ඉනිම ද ඉක්මවා යමින් ලකුණු 289ක් රැස් කරන්නට සමත් වූහ. තමන්ට හොඳින් හුරුපුරුදු විද්‍යාලීය ක්‍රීඩා පිටියේ වාසිය තමන් වෙතම රඳවාගත් මෙවන් දුලාංජන (59) සහ මාලක රොද්‍රිගෝ (57) අර්ධ ශතක වාර්තා කල අතර මදූක හෙට්ටිආරච්චි ලකුණු 45කින් දායකත්වය සැපයීය. පන්දු යැවීමේදී තෝමස් විද්‍යාලයේ ජනිත් සහ සහන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඒ අනුව සාන්ත ඇන්තනි ප්‍රථම ඉනිමට වඩා ලකුණු 153ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ තෝමසුවන් තරගය නිමාවන විට කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කරගෙන සිටියහ. දක්ෂ ලෙස පන්දුවට පහර දුන් නදීශ් තරූෂ ලකුණු 87ක් රැස් කරද්දී එදිරිසූරිය ජයවීර කඩුලු 2ක් බිඳ හෙලන්නට සමත් විය. ඒ අනුව මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් සාන්ත ඇන්තනි විද්‍යාලයට හිමිවිය.

කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 57.5)

අරුක්ෂ මනුල 36, එදිරිසූරිය ජයවීර 4/49, මෙවන් දුලාංජන 3/22.

සාන්ත ඇන්තනි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 75)

මදූක හෙට්ටිආරච්චි 45, මෙවන් දුලාංජන 59, මාලක රොද්‍රිගෝ 57, ඩිලෝන් ප්‍රසන්න 23, පසිඳු චතුරංග 22, ජනිත් පෙරේරා 2/43, සහන් කළුආරච්චි 2/74.

කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 180 (පන්දුවාර 57)

නදීශ් තරූෂ 87, අශේන් චමුදිත 38, එදිරිසූරිය ජයවීර 2/39.


ගුරුකුල විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් විය. තම විද්‍යාලය වෙනුවෙන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කල උදාර රවිඳු ලකුණු 80ක් ද, අශින්ත මල්ෂාන් ලකුණු 47ක් ද රැස් කළහ. ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ නිදුක මල්සිත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇලෝසියස් විද්‍යාලය පළමු දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා සිටියි. හෙට තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 230 (පන්දුවාර 83.1)

උදාර රවිඳු 80, අශින්ත මල්ෂාන් 47, දුමින්ද සුධාරක 34, ප්‍රවීන් නිමේෂ් 28, නුවන් චානක 20, නිදුක මල්සිත් 5/27, හරීන් බුද්ධිල 3/80.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 22 (පන්දුවාර 9)

ගිම්හාන ආශිර්වාද 15.


තර්ස්ටන් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බෙනඩික්ට් විද්‍යාලයේ නායකයා පළමුවෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී තර්ස්ටන් විද්‍යාලයට භාර දුන්නේය. එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් තර්ස්ටන් පිතිකරුවෝ පන්දුවාර 61කට ක්‍රීඩා කරමින් ලකුණු 256ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ. ඒ වන විට දැවී ගොස් තිබූ තර්ස්ටන් කඩුලු ගණන 8කි. සවන් ප්‍රභාෂ් (75) සහ නිපුන් ලක්ෂාන් (62) අර්ධ ශතක වාර්තා කළ අතර පන්දු යැවීමේදී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් රෙෂාන් කවිශ්ක සහ චමිඳු විජේසිංහ අතරේ තර්ස්ටන් කඩුලු 6ක් බෙදී ගියේය.

ඉනිම නිමා වන්නට තවත් කඩුලු 2ක් ඉතිරිව තිබියදී ඉනිම අත් හිටුවන්නට තර්ස්ටන් නායකයා ගත් තීරණය නිවැරැදි බව පසක් කරමින් ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බෙනඩික්ට් විද්‍යාලයේ කඩුලු 3ක් දවා ගැනීමට තර්ස්ටන් පන්දු යවන්නෝ සමත් වූහ. මේ වනවිට ලකුණු 43ට කඩුලු 3ක් ලෙස සටහන් වන බෙනඩික්ට් ඉනිම වෙනුවෙන් දිනිත බස්නායක ලකුණු 20ක් ලබා නොදැවී පන්දුවට පහර දෙයි. හෙට තරගයේ දෙවන සහ අවසන් දිනයයි.

තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 256 (පන්දුවාර 61)

සවන් ප්‍රභාෂ් 75, නිපුන් ලක්ෂාන් 62, නිමේෂ් ලක්ෂාන් 24, රෙෂාන් කවිශ්ක 4/46, චමිඳු විජේසිංහ 2/35.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 43 (පන්දුවාර 23)

දිනිත බස්නායක 20*.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට