යොවුන් ක්‍රීඩකයෝ පිට පිටම දෙවැනි ජයත් ලබයි

577

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ හොංකොං රාජ්‍යයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අද (සැප්තැම්බර් 30) සමත් විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් වූ මෙම ජයග්‍රහණයත් සමග තරග වැදි ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා යොවුන් පිලට අවස්ථාව උදා විය.

ශ්‍රී ලංකා යෞවනයෝ ජයග්‍රහණයකින් ආසියානු කුසලාන අරඹයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමාවත් සමඟ බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන්…

ළාබාල තරග රටාවක නියැලුණු හොංකොං පිතිකරුවන්ව පන්දුවාර 33යි පන්දුවක දී ලකුණු 56කට සීමා කිරීමට ශෂික දුල්ශාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නනෝ සමත්වත් දී අදාළ ඉලක්කය හඹා ගිය ආරම්භක පිතිකරුවෝ දහවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී සපුරා ගනිද්දී එකම කඩුල්ලක් හෝ ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා නොදීමට වග බලාගත්හ.

බංග්ලාදේශය සමඟ තරගයේ පරිදීම මෙම තරගයේ දී ද කාසියේ වාසිය දිනා ගැනීමට වාසනාවන්ත වූ ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජයගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායම දැවී ගිය එම ලකුණු සංඛ්‍යාව අවුරුදු 19න් පහළ ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් අඩුවෙන්ම දැවී ගිය 13 වැනි අවස්ථාව ලෙසින් සටහන් විය.

නායකයා බලාපොරොත්තු වූ පරිදීම වගකීම අකුරටම ඉටු කළ ආරම්භක පන්දු යවන්නා වූ කලන පෙරේරා මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් ව තිබිය දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම තරග නරඹන්නන් බවට පත් කිරීමට සමත් විය. වමතින් වේගපන්දු යවන කලන කඩුලු රකින නිශාන් ප්‍රනාන්දුගේ සහාය ඇතිව කල්හාන් චල්ලුව ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව හර්ප්‍රීට් සිංව ද දවා ගනු ලැබීය.

අනතුරුව සිය කඩුලු දඩයම ඇරඹූ ශෂික දුල්ශාන් තම කඩුලු 5 මල්ලේ පළමු කඩුල්ල ලෙස නායක කබීර් සෝධි (06) ව දවා ගනු ලැබීය. ඉන්පසු පන්දුවට පහර දීමට පැමිණි කිසිම පිතිකරුවකුට ස්ථාවර වීමට අවස්ථාවක් ලබා නොදුන් වමත් දඟපන්දු යවන්නා හොංකොං කණ්ඩායම සිය අණසකට නතු කරගත්තේය. දුල්ෂාන්ගේ පන්දු යැවීම හොංකොං පිතිකරුවන්ට කෙතරම් අභියෝගයක් ගෙන දුන්නේ ද කිවහොත් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූයේ මැදපෙළින් පන්දුවට පහර දීමට අදිත් ගොරවර් පමණි.

මාතර සර්වේසස් විදුහල නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් පිලට පැමිණීමට වරම් ලද දුල්ෂාන් හොංකොං ඉනිමේ 8 වැනි කඩුල්ල වන විට තම කඩුලු 5 සටහන් කර ගැනීමට සමත් විය. දිනයේ කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත්වූ දුල්ෂාන්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 10ක දී නිලකුණු පන්දුවාර 4ක් ද සමඟින් ලකුණු 19කට කඩුලු 5ක් වශයෙනි. ඔහුට අනගි සහායක් ලබා දුන් දුලිත් වෙල්ලාලගේ ද ලකුණු 05කට කඩුලු 2ක් දවා ගත් අතර කල්හාර සේනාරත්න අනෙක් කඩුල්ලට හිමිකම් කීය.

හොංකොං පිල විසින් ලබා දුන් ලකුණු 57ක පහසු ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් යුගලය නායක නිපුන් ධනංජය සහ නිශාන් ප්‍රනාන්දු ආරම්භක කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 58ක සම්බන්ධතාව වැය කරන ලද්දේ පන්දු 56ක් පමණි.

පුස්සෙගොල්ල හා අක්‍රම්ගෙන් දක්ෂ පන්දු යැවීමක්

Fair and Lovely හා යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සවිබල ගන්වනු ලබන වෙළඳසේවා…

පෙර තරගයේ දී අංක 3 පිතිකරුවා ලෙසින් පන්දුවට පහර දුන් නායක නිපුන් ධනංජය පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් සිදුකරමින් ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසීම කැපී පෙනුණි. පෙර තරගයේ දී ඉනිම ඇරඹි නවෝද් පරණවිතාන වෙනුවට ඉනිම ආරම්භ කිරීමට පැමිණි නිපුන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කළේය. නිපුන් රැස් කරන ලද ලකුණු 35 සඳහා ඔහු මුහුණ දුන්නේ පන්දු 29කට වන අතර ඉන් 5 වතාවක්ම හතරේ සීමාව කරා පන්දුව යොමු කිරීමට සමත්වූයේය.

කලබල නැතත් ප්‍රහාරාත්මක වේගයක් තබා ගනිමින් පන්දුවට පහර දුන් නිශාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වද්දී පන්දු 27ක දී ලකුණු 21ක් ලබා සිටියේ තම ඉනිම හතරේ පහර 4කින් අලංකාර කර ගනිමිනි.

‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන මීළඟ තරගය සැප්තැම්බර් මස 02 වැනිදා පාකිස්තානු යොවුන් පිල සමඟින් චිතගොංහිදී මුහුණ දෙනු ඇත.

හොංකොං යොවුන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 56 යි (33.1) – අජිත් ගොරවර 10,  ශෂික දුල්ෂාන් 19/5, දුලිත් වෙල්ලාලගේ 05/2, කලන පෙරේරා 11/2, කල්හාර සේනාරත්න 11/1

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 58 යි (9.2) – නිපුන් ධනංජය (නොදැවී) 35, නිශාන් ප්‍රනාන්දු (නොදැවී) 21)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<