දියාරු පන්දු රැකීමේ පිහිටෙන් පාකිස්තානය යහපත් තැනක

111

ශ්‍රී ලංකාව හා පාකිස්තාන – ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් යුත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම සිවුදින තරගය ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර පාකිස්තාන ‘ඒ’ පිල දිනය අවසානයේ කඩුලු 5කට ලකුණු 244ක් ලෙස ප්‍රබල ස්ථානයක පසුවන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දියාරු පන්දු රැකීම නිසාය.

ශ්‍රී ලංකා නායක අෂාන් ප්‍රියන්ජන් කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පන්දුවට පහරදීමට පාකිස්තාන් කණ්ඩායමට ආරාධනා කළ අතර ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත් ශ්‍රී ලංකාව මුළු ලකුණු සංඛ්‍යාව 22ක් වන විට නිසි පල නෙළා ගැනීමට සමත්විය. එනම් පළමු ඉනිමේ 10 වැනි පන්දු වාරයේ සිවුවැනි පන්දුව යැවූ වමත් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු පාකිස්තාන් ආරම්භක පිතිකරු උමාර් සිද්ධික් ලකුණු 6කට දවා ගැනීමට සමත් විය. කඩුලු රකින කුසල් ජනිත් පෙරේරා උඩපන්දුවක් රැක ගැනීමත් සමඟ එසේ පළමු කඩුල්ල දැවී ගියද උප නායක උමාර් අමීන් හා අනෙක් ආරම්භක පිතිකරු කුරාම් මන්සූර් අතර 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 135ක සබඳතාවක් ගොඩනැඟීම නිසාම පාකිස්තානුවන්ට ශක්තිමත් ලකුණු ප්‍රමාණයකට අඩිතාලම වැටුණි.

ඉනිමේ 24 වැනි පන්දුවාරයේදී මන්සූර් පන්දු 77කින් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව ලකුණු 82කට දැවී යන විට පන්දු 128කට මුහුණදී හතරේ පහර 9ක්ම වාර්තා කර තිබිණි.

මන්සූර් ලකුණු 6ක් හා ලකුණු 17ක් ලබා සිටියදී ලබාදුන් උඩපන්දු ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යෑමට තරම් මන්සූර් වාසනාවන්ත වූ අතර ඊයේ දිනයේ ඉනිම පුරාම උඩපන්දු 5ක් අත්හැරීමේ වාසියෙන් පාකිස්තානුවන් උපරිම ප්‍රයෝජන ගත්තේය. එනම් උමාර් අමීන්ද ලබාදුන් උඩපන්දු අත්හැරීම ඔහුගේ ගමන ලකුණු 99ක් දක්වා යෑමට වාසියක් වූ අතර ඊයේ දින තරගය අවසානයේ ශ්‍රී ලංකාව පැත්තෙන් අවාසනාවන්ත වුවත් පන්දුවෙන් දස්කම් පෑවේ කඩුලු 2ක් ලබාගත් තරිදු කෞෂාල් හා වේගපන්දුවෙන් විශ්ව ප්‍රනාන්දු පමණි.

පාකිස්තාන – ඒ කණ්ඩායම –

පළමු ඉනිම (පන්දුවාර 80කදී කඩුලු 5ට ) ලකුණු 244 කුරාම් මන්සූර් 82,

උමාර් අමීන් 99

විශ්ව ප්‍රනාන්දු 30/1, තරිඳු කෞෂාල් 46/2

ධනංජය ද සිල්වා 28/2