CCC සහ Bloomfield අවසන් මහා සටනට

76
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා CCC සහ Bloomfield C & AC කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නවා. ඔවුන් මෙම අවස්ථාව උදාකර ගන්නේ පිළිවෙළින් Nugegoda S & WC සහ Negombo CC කණ්ඩායම්වලට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගනිමිනුයි.

Nugegoda S & WC කණ්ඩායම සහ CCC කණ්ඩායම අතර තරගය කොළඹ SSC පිටියේ දී

කාසියේ වාසිය දිනා ගත් Nugegoda S & WC කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 123ක් ලබා සිටියා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC කණ්ඩායම ලබා ගන්නේ අසාර්ථක ආරම්භයක්. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ලකුණු 179කට සීමා වෙනවා. පෙර දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඔවුන් ලබා සිටියේ කඩුලු 6ක් දැවී ලකුණු 123ක් පමණයි.

ඒ වෙද්දී නොදැවී ලකුණු 23ක් ලබා සිටි සහන් කෝසල තම ඉනිම වෙනුවෙන් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඉනුක කරන්නාගොඩ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අබ්දුල් හකම් ලකුණු 59කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූවා. ඊට අමතර ව පසිඳු පැතුම්, අභිශේක් ආනන්දකුමාර් සහ නිර්මල රත්නායක කඩුලු ද්විත්වය බැගින් ද මියුරු හේෂාන් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Nugegoda S & WC ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 143ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් නායක අක්‍රම් මුතාලිබ් පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා.

ඊට අමතර ව සදෙව් සමරසිංහ පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ඉනුක කරන්නාගොඩ සහ දුවිඳු රණතුංග කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊඨ අමතර ව පවන් රත්නායක, සෙත්රූ ප්‍රනාන්දු සහ හිරුෂ දෙව්මික කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 36ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිවිසි CCC ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 61ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු අරෝෂ සිතුමිණ පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය අබ්දුල් හකම් සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (40.3) දුල්නිත් සිගේරා 38, පවන් රත්නායක 26, සහන් කෝසල 41, ඉනුක කරන්නාගොඩ 22, පසිඳු පැතුම් 2/25, අභිශේක් ආනන්දකුමාර් 2/25, අබ්දුල් හකම් 3/59

 

Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (48.2) සදෙව් සමරසිංහ 20, අක්‍රම් මුතාලිබ් 69, දුවිඳු රණතුංග 3/37, ඉනුක කරන්නාගොඩ 3/31

 

CCC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 61 (12.1) අරෝෂ සිතුමිණ 30, අබ්දුල් හකම් 2/09

තරගයේ විසඳුමක් නෑ (CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Negombo CC කණ්ඩායම සහ Bloomfield C & AC කණ්ඩායම අතර තරගය කොළඹ NCC පිටියේ දී.

කාසියේ වාසිය දිනා ගත් Bloomfield C & AC කණ්ඩායමේ ආරාධනා කිරීම මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Negombo CC කණ්ඩායම පෙර දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබා සිටි අතර ඔවුන්ගේ ඉනිම ලකුණු 116කට සීමා වෙනවා.

ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක කවීන් ප්‍රනාන්දු. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා. ඊට අමතර ව තත්සර ඒශාන් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 66ක දී ලකුණු 44ක සබඳතාවක් ද එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී නිසල අබේරත්න ලකුණු 24කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දුලාජ් සමුදිත සහ මිහිරංග සිල්වා කඩුලු ද්විත්වය බැගින් ද තරින්ද නිර්මාල් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි  Bloomfield C & AC ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 147ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් අසිත වන්නිනායක පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තා.

ඔහු එම ඉනිම ක්‍රීඩා කරන්නේ තම කණ්ඩායම ලකුණු 19කට කඩුලු 3ක් දැවී අසරණ ව සිටි අවස්ථාවකයි. එහි දී ඔහු සිව් වැනි කඩුල්ල වෙනුවෙන් තරිඳු හර්ෂණ (22) හා එක් ව පන්දු 42ක දී ලකුණු 34ක සබඳතාවක් ද සහ 5 වැනි කඩුල්ල වෙනුවෙන් කවීෂ පියුමාල් (6) සමඟ පන්දු 90ක දී ලකුණු 41ක සබඳතාවක් ද සහ තරගය අවසන් වෙද්දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් රත්නායක (නොදැවී 22) සමඟින් පන්දු 118ක දී නොදැවුණ ලකුණු 53ක සබඳතාවක් ද ගොඩ නගනවා.

කඩුලු දවා ගැනීමේ දී හංසජ හිරුණ ලකුණු 66කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ශෙහාන් ප්‍රමෝද් සහ අමිත පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Negombo CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 39 (17.0) කවීන් ප්‍රනාන්දු 39, තත්සර ඒශාන් 21, දුලාජ් සමුදිත 2/35, නිසල අබේරත්න 5/24

 

Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 147 (49.0) අසිත වන්නිනායක නොදැවී 69, තරිඳු හර්ෂණ 22, පැතුම් රත්නායක නොදැවී 22, හංසජ හිරුණ 3/66

තරගයේ විසඳුමක් නෑ. (Bloomfield C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

CCC සහ Bloomfield C & AC කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 23 සහ 24 දෙදින කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<