ලක්නි සහ මිහිනි දක්ෂතා දක්වයි

U 19 Girls Sri Lanka Youth League T20 Tournament 2025

19
U 19 Girls Sri Lanka Youth League T20 Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්සයි Youth League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (24) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුණා.

ඒ අනුව අද පෙරවරුවේ පැවැති Galle කණ්ඩායම සහ Colombo කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 15ක ජයග්‍රහණයක් ලබා ගත් Colombo කණ්ඩායම තරගාවලියේ පිට පිට 2 වැනි තරගයත් ජයග්‍රහණය කිරීමට සමත් වෙද්දී, පස්වරුවේ පැවැති Dambulla සහ Kandy අතර තරගයෙන් Dambulla කණ්ඩායම ද 2 වැනි ජයග්‍රහණය වාර්තා කළා.

එම තරගවල දී Galle කණ්ඩායමේ ලක්නි නිම්සරා සහ Dambulla  කණ්ඩායමේ මිහිනි ඔවින්දි පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

Galle U 19 Girls සහ Colombo U 19 Girls  අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් Colombo ක්‍රීඩිකාවෝ පන්දු යැවීම තෝරා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී Galle ක්‍රීඩිකාවෝ සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 122ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී Colombo ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 107ක් පමණයි.

Galle ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 4කට දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක දී ලකුණු 41ක් එක් කිරීමට සංජනා කාවින්දි සහ ලක්නි නිම්සරා සමත් වෙනවා. එහි දී සංජනා කාවින්දි පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගෙන සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

ලක්නි නිම්සරා පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39ක් ලබා ගනිමින් Galle කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර ඇය නෙතඟි ඉසුරාංජලී සමග එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 28ක සබඳතාවක් ද එක් කරනවා.

නෙතඟි ඉසුරාංජලී පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව නායිකා රශ්මි සංජනා පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ලිමංසා තිලකරන්ත ලකුණු 19කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නෙත්මි නිම්සරා ප්‍රනාන්දු කඩුලු 2ක් ද, ශෂිනි පෙරේරා සහ විනුදි වීරසූරිය කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු අගනුවර වැඩිම ලකුණුලාභිනිය වන්නේ නායිකා ලිමංසා තිලකරත්න. ඇය පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා. ඇය නෙතකි කුඩලිගම (13) හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 21ක දී ලකුණු 30ක සබඳතාවක් ද එක් කරනවා.

කෙසේ වෙතත් Colombo කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට පන්දු 54ක දී ලකුණු 32ක සබඳාවක් එක් කරනවා. ඒ උමයංගනා පීරිස් සහ ලිහන්සා දුල්මි ද සිල්වා විසිනුයි. උමංගනා පීරිස් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගන්නා ලද අතර ලිහංසා දුල්මි ද සිල්වා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඔනලි අධිකාරි ද පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ශෙහාරා ඉඳුවරී ලකුණු 35කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රශ්මි නේත්‍රාංජලී, චමෝධි හේරත් සහ රිශ්මි සංජනා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Galle U 19 Girlsකඩුලු 8ක් දැවී 122 (20.0) සංජනා කාවින්දි 15, ලක්නි නිම්සරා 39, නෙතගි ඉසුරාංජලී 20, රිශ්මි සංජනා 15, නෙත්මි නිමාශා ප්‍රනාන්දු 2/24, ලිමංසා තිලකරත්න 2/19
  • Colombo U 19 Girls  – කඩුලු 9ක් දැවී 107 (20.0) ලිහංසා දුල්මි ද සිල්වා 16, ඔනලි අදීශා 16, ලිමංසා තිලකරත්න 23, ශෙහාරා ඉඳුවරී 2/35

Galle U 19 Girls කණ්ඩායමට ලකුණු 15ක ජයක්.

කාසියේ වාසිය දිනා ගත් Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 89ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Dambulla කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 91ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඒ තවත් පන්දු 9ක් ඉතිරි ව තිබියදීයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 28ක් එක් කිරීමට චංචලා බෝලවත්ත සහ ප්‍රමුධි මෙත්සරා සමත් වුණා.

එහි දී චංචලා බෝලවත්ත පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද සහ ප්‍රමුධි මෙත්සරා පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා ගත්තා.

ඊට අමතර ව දනුෂි නවෝද්‍ය පන්දු 10ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 12ක් ද, විමෝක්ෂා බාලසූරිය සහ නායිකා අසේනි තලගුණේ ලකුණු 10ක් බැගින් ද එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී දනුලි තෙන්නකෝන් ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව චලනි කවීෂ, චනුලි විශ්මි විජේසිංහ, නෙත්මි උපේක්ෂා සහ වගීෂ ජයවර්ධන කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු Dambulla කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 21කට දැවී ගිය ද ඉන් පසුව තරගය තමන් දෙසට ඈඳා ගැනීමට ඔවුන් සමත් වෙනවා. එහි දී මිහිනි ඔවින්දි පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

එහි දී ඇය සිව් වැනි කඩුල්ලට සනුද්‍රි ගුණරත්න එක් ව පන්දු 22ක දී ලකුණු 20ක සබඳතාවක් ද සහ දනෝද්‍යා සෙව්මිණි එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 35ක් ද එක් කළා.

සනුද්‍රි ගුණරත්න පන්දු 11ක දී ලකුණු 6ක් ද සහ දනෝද්‍යා සෙව්මිණි පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රමුධි මෙත්සරා ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මිතලි අයෝද්‍යා සහ අසේනි තලගුණේ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Kandy U 19 Girls – කඩුලු 7ක් දැවී 89 (20.0) චංචලා බෝලවත්ත 22, ප්‍රමුදි මෙත්සරා 10, විමෝක්ෂා බාලසූරිය 10, අසේනි තලගුණේ 10, දනුෂි නවෝද්‍යා 12, දනුලි තෙන්නකෝන් 3/15
  • Dambulla U 19 Girls –කඩුලු 5ක් දැවී 91 (18.3) මිහිනි ඔවින්දි 35, දනෝද්‍යා සෙව්මිණි නොදැවී 18, ප්‍රමුධි මෙත්සරා 3/13

Dambulla U 19 Girls කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (25) වැනිදා කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<