කඹ ඇදීම, සාමාන්‍යයෙන් දේශපාලනයේ දී, එසේත් නැත්නම් පරිපාලනයේ දී අසන්නට ලැබෙන වචනයක්. ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ අවුරුදු උත්සවවල ප්‍රකට අංගයක් වන කඹ ඇදීම (Tug of war), ලෝක ප්‍රකට ක්‍රීඩාවක් බව ඔබ දැන සිටියා ද?

හයිය, එසේත් නැත්නම් ශක්තිය නිකරුණේ ප්‍රදර්ශනය කළ යුත්තක් නොවුණත්, ක්‍රීඩාව යනු සාමකාමීව එය සිදු කළ හැකි හොඳ වේදිකාවක්. මෙය අතීතයේ සිටම මානව සංහතිය විසින් පුරුදු පුහුණු කරන ලද්දක් බව ශක්තිය මැනබලන පෞරාණික ක්‍රීඩා දෙස බැලීමේ දී පැහැදිලි වන්නක්. කඹ ඇදීමත් පෞරාණික ක්‍රීඩාවන්ගෙන් එකක් බවයි ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පෙනීයන්නේ.

කඹය ලෝකයේ කොතැන ද?

2008 අයර්ලන්ත කඹ ඇදීමේ කණ්ඩායම - wordpress.com
2008 අයර්ලන්ත කඹ ඇදීමේ කණ්ඩායම – wordpress.com

ලෝක කඹ ඇදීමේ සම්මේලනයේ සාමාජිකත්වය මේ වන විට රටවල් 50කට අධික සංඛ්‍යාවකට හිමිව ඇත. ඔවුන් අතර එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක් සහ ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, නේපාලය, මොන්ගෝලියාව ආදී ආසියානු රටවල් ගණනාවක් ද ඇත. ශ්‍රී ලංකාව මෙහි දකුණු ආසියානු කලාපය නියෝජනය කරයි.

අද වන විට ආරක්ෂක සේවා සහ ශක්තිමත් තරුණයන්ගෙන් සැදුම් ලත් ක්‍රීඩා සමාජ මට්ටමින් ශ්‍රී ලාංකික අපට ඉතාම හුරුපුරුදු කඹ ඇදීමේ ඉතිහාසය වෙත මඳක් අවධානය යොමු කරමු.

බෞද්ධ සාහිත්‍යයේත් සඳහන්

ආරම්භ වූ නිශ්චිත කාලවකවානුවක් කිවනොහැකි තරමටම මෙම ක්‍රීඩාව අතීතයට දිවයයි. එය ඔප්පු කළ හැකි එක් කරුණක් වන්නේ  මෙහි ඇති සුගමභාවය, එසේත් නැත්නම් පහසුවෙන් සූදානම් විය හැකි බව යි. මේ සඳහා අවශ්‍ය වන්නේ කඹයක් සහ තැනිතලා බිමක් පමණයි. පසුකාලීනව බූට් සපත්තු පැළඳීම මීට එක්වී ඇත.

ඊජිප්තුව, ග්‍රීසිය, චීනය ආශ්‍රිත ශිෂ්ටාචාරයන් මූලික කොටගෙන කඹ ඇදීම ප්‍රචලිත වන්නට ඇතැයි මේ වන විට විශ්වාස කෙරේ. එහෙත් ශක්තිය පදනම් වන ඇදීම සම්බන්ධ එදිනෙදා කටයුතු සිදු කළ පැරැන්නන් ශක්තිය මැනබැලීමේ ක්‍රීඩාවක් ලෙස මෙය ලොව පුරා සිදු කරන්නට ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රකට අවුරුදු ක්‍රීඩාවක් වන අං කෙලිය ද  ශක්තිය පෙන්වන ඇදීමේ ක්‍රීඩාවකි.  

සුර-අසුර කඹ ඇදීමේ බිතු කැටයමක් - hubstatic.com
සුර-අසුර කඹ ඇදීමේ බිතු කැටයමක් – hubstatic.com

බෞද්ධ සාහිත්‍යයට අනුව සුර සහ අසුරයන්, යුද්ධයක් ලෙස කඹ ඇදීමක නිරත වූ බව සඳහන් වන අතර එම කතා පුවත රැගත් බිතු කැටයම් කාම්බෝජියාවේ අන්කොර් වාට් හිදී හමුවී තිබේ. 12 වැනි සියවස වන විට මෙය ඉන්දියාවේ ද ජනප්‍රිය ක්‍රීඩාවක් වූ බවට සාක්ෂි හමුවන අතර ශ්‍රී ලාංකිකයන් අතර මෙය ප්‍රචලිත වන්නට ඇත්තේ අවුරුදු උත්සව ඇරඹෙන්නටත් ප්‍රථම යැයි සැලකිය හැක.

යුරෝපීය ජන ගොවිපලවල් වල සේවයේ නියුතු වූ ශක්තිමත් පිරිමින් සහ කාන්තාවන් අතර සංස්කෘතික උත්සව වල දී කෙමෙන් ප්‍රචලිත වූ කඹ ඇදීමේ ඉසව්ව, මුහුදුබඩ ප්‍රවාහන කටයුතුවල දියුණුවත් සමඟ ශක්තිමත් නැවියන් සහ කම්කරුවන්ගේ ද ශක්තිය මෙන්ම කණ්ඩායම් හැඟීම මැනබැලීමේ ඉසව්වක් බවට පත්විය.

කඹයේ නිල ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පැරැන්නන් අතර ජනප්‍රියව පැවති කඹ ඇදීමේ ක්‍රීඩාව සම්මත නීති රීති යටතේ ක්‍රියාත්මක වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කඹ ඇදීමේ කණ්ඩායම පිහිටුවීමෙන් පසුව ය. ඔවුන්ට පසුව යුධ හමුදාව ද ඊට එක්වූ අතර ගම්බද පළාත්වලට සම්මත ක්‍රීඩාවක් වශයෙන් කඹ ඇදීම එක්කිරීමට ප්‍රධානත්වය ලැබුණේ ඔවුන්ගෙනි.

නොනිල ඈත ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ කඹ ඇදීමට ඇතත් එහි නිල ඉතිහාසය ඇරඹෙන්නේ 50 දශකයෙන් පසුවයි. නූතන ඔලිම්පික් උළෙලට 1900 වසරේ දී ඇතුළත්ව 1920 වසරේ දී අවාසනාවන්ත ලෙස ඉන් ඉවතට විසිවීමට කඹ ඇදීමේ ක්‍රීඩාවට සිදුවූවත්, එය ශ්‍රී ලංකාවේ ජාතික මහා ක්‍රීඩා උළෙලට පවා ඇතුළත් වන උද්වේගකර ඉසව්වක්.

2017 ජාතික මහා ක්‍රීඩා උළෙලේ කඹ ඇදීමේ අවසන් තරග

විශේෂයෙන්ම ආරක්ෂක සේවාවල මැදිහත්වීම නිසා මෙම ක්‍රීඩාව ඔවුනොවුන් අතර ශක්තිය සහ එකමුතුභාවය මැනබලන ප්‍රධානතම ක්‍රීඩා ඉසව්වක් බවට පත්වීමෙන් ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රියත්වයක් මෙයට හිමිව තිබේ.

අවදානම

කඹ ඇදීමේ අවදානම - sportscoverdirect.com
කඹ ඇදීමේ අවදානම – sportscoverdirect.com

බැලුබැල්මට මෙහි කිසිදු අවදානමක් නැති සේ පෙනුනත් තරගකාරී බව දැඩි වන විට අනතුරුදායක බව ද වැඩි වේ. මෙය සම්පූර්ණයෙන්ම ශක්තිවන්තයන් සඳහා වෙන්වන්නේ එබැවිනි. කඹය රඳවා ගෙන සිටින අත්වල ඇතිවිය හැකි සීරීම්වලින් පටන්ගෙන ඇඟිලි, මැණික් කටු විසන්ධි වීම හෝ පාදයේ/කොන්දේ ආබාධ ඇතිවීම දක්වා ද ඇතැම් විට මරණය දක්වා ද මේ අනතුරු අවදානම ඉහළ යා හැක.

1978 ගිනස් වාර්තාවක් වෙනුවෙන් සිදු කරන ලද කඹ ඇදීමක දී 6 දෙනෙකුට පමණ බරපතළ තුවාල සිදු වූ අතර 200 දෙනෙකුට පමණ සුළු තුවාල සිදු විය. 1995 ජර්මනියේ දී පැවති කඹ ඇදීමක දී මරණ දෙකක් වාර්තා වූයේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇදීගොස් බිම පතිත වීමෙන් අනතුරුවයි. 1997 දී සහ 2013 දී ද අත්වල උරහිසින් පහළ කොටස් විසන්ධි වීම් කිහිපයක් සහ අතැඟිලි විසන්ධි වීම් කිහිපයක් වාර්තා වී ඇත්තේ පිළිවෙළින් චීන තායිපේ සහ ඇමරිකාව යන රටවල්වල දී යි.

අවදානමට සිනාසෙන ශූරයෝ

උද්වේගකර අත්දැකීම් ප්‍රියකරන තරුණ තරුණියන්ට මෙම ක්‍රීඩාව පිළිබඳ ඇල්මක් ඇතිවන්නට ඉහත අවදානම තල්ලුවක් විය හැකිය. ජයග්‍රාහී සලකුණ සටහන් කඹය, ජයග්‍රාහී සීමාවෙන් මෙපිටට ඇදගැනීම එතරම්ම උද්වේගකරය. ශක්තිය පමණක්ම ප්‍රමාණවත් ද? නැහැ. උපක්‍රම රහිතව කිසිදු ක්‍රීඩාවක් ජය ගත නොහැකියි.

2017 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී බස්නාහිර පළාත් කණ්ඩායම සහ වයඹ පළාත් කණ්ඩායම තරග වදින පහත තරගය මඳක් නරඹන්න.

එය ක්‍රීඩකයන්ට පමණක් නොව, නරඹන්නන්ට ද අමුතුම උද්වේගයක් ගෙන එන්නක්. පළාත් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තේරීපත්වන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරන දක්ෂයින්ගෙන්.

ආරක්ෂක සේවා (ගුවන් හමුදා, යුධ හමුදා, නාවික හමුදා, පොලිස්) වලට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩා සමාජ කිහිපයක් පහතින් හඳුනා ගනිමු.

  • එකමුතු ක්‍රීඩා සමාජය – රද්දොළුගම
  • රන්තරු ක්‍රීඩා සමාජය – දන්කොටුව
  • අරුණලු ක්‍රීඩා සමාජය
  • සිංහ ක්‍රීඩා සමාජය – කටුබැද්ද
  • සුසිත ක්‍රීඩා සමාජය – ගනේමුල්ල
  • ඩම්බෙල් ක්‍රීඩා සමාජය – පූගොඩ
  • උඩුගම්පොල එක්සත් ක්‍රීඩා සමාජය
  • පන්නල බ්ලාස්ටර්ස් ක්‍රීඩා සමාජය
  • උදාන ක්‍රීඩා සමාජය  
පසුගිය දෙවසරේම ශ්‍රී ලංකා ශූරයන් වූ ගුවන් හමුදා කණ්ඩායම
පසුගිය දෙවසරේම ශ්‍රී ලංකා ශූරයන් වූ ගුවන් හමුදා කණ්ඩායම

ජාතික මට්ටමේ ශූර කණ්ඩායම් දෙකක් ලෙස ගුවන් හමුදා කණ්ඩායමත් යුධ හමුදා කණ්ඩායමත් සැලකිය හැකියි. ශ්‍රී ලාංකික තරුණයන් පමණක් නොව තරුණියන් ද කඹ ඇදීමේ ශූරියන් ය.

නාවික හමුදා කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම
නාවික හමුදා කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම

ලේසියෙන් කරමු

ඔබට මිල අධික ක්‍රීඩා උපකරණ අවැසි නැහැ. ඔබ ශක්තිවන්තයෙකු නම්, ඔබේ කණ්ඩායම එකමුතු නම්, ඔබට පැහැදිලි උපක්‍රම සම්පාදනය කර ගත හැකි නම් මේ ඔබටම වෙන්වූ ක්‍රීඩාවයි.

ඔබේ කාර්යාලයේ කඹ ඇදිය යුතු නැහැ. දේශපාලනය වෙනුවෙන් කඹ ඇදිය යුතු නැහැ. පිටියට බසින්න. කඹ ඇදීමේ ක්‍රීඩාවේ ඔබේ ශක්තිය ලොවටම පෙන්වන්නට කිසිවෙකු රිදවිය යුතු නැහැ.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න