‘ThePapare’ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට යන්නේ කවුරුන් ද?

215

2018 ‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 14 වැනි (සිකුරාදා) දින කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

එහි දී සවස 3ට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය එකිනෙකා සමඟ සටන් වදින අතර සවස 5.30ට පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ දී හමීඩ් අල් හුසේනි විද්‍යාලය සමඟින් යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය තරග වදිනු ඇත.    

විශිෂ්ට හඹා යාමක් නමුත් දඬුවම් පහරෙන් ජය යාපනයට

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ අද (24) සවස කොළඹ සුගතදාස පාපන්දු…

පළමු අවසන් පූර්ව තරගය

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

මෙවර තරගාවලියේ මේ වෙන විට වැඩිම ගෝල ලාභියා වන තරින්ද සිල්වාගේ විශිෂ්ට දස්කම් හරහා අර්ධ අවසන් පූර්ව තරගයේ දී යාපනය මහජන විද්‍යාලයීය පරාජයට පත්කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඒ අනුව එළඹෙන අවසන් පූර්ව තරගයේ දී ද නායක තරින්ද සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන අතර තවදුරටත් රජිඳු ප්‍රනාන්දු සහ ප්‍රනීත් ශාමින්ද ද ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇති බව නොඅනුමාන ය.

ඒ අනුව ප්‍රබල ජෝස්ප්වරුන් පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායමට හැකි වෙයි ද?

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව තරගයේ දී සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම පසුපසින් සිට පැමිණ පරාජයට පත්කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය. ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන අසේල මදුෂාන් දිගු කාලීන ආබාධයකින් පෙළීම නිසා කණ්ඩායමට ඔහුගෙන් දායකත්වයක් නොලැබුණ ද ඔවුන්ගේ කණ්ඩායම තවත් දක්‍ෂයින් රාශියකගෙන් සන්නද්ධ වී ඇත. ඒ අනුව ෂෙනාල් සන්දේශ් සහ චලන ප්‍රමන්ත ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ලබන අතර නිමේෂ් කුරේ විසින් මැදපෙළ පාලනය සිය කණ්ඩායම දෙසට නතුකර ගැනීමට උත්සාහ දරනු ඇත. කෙසේ නමුත් අර්ධ අවසන් පූර්ව තරගය අතරතුර ආබාධයකට ලක්වීම නිසා ඔවුන්ගේ නායක මාෂල් කොඩිකාර එළඹෙන අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත්දැයි තවමත් අවිනිශ්චිත ය.

ඒ අනුව අඛණ්ඩව 3වන වරටත් කිරුළ දිනා ගන්නට ජෝස්ප්වරුන්ට හැකි වෙයි ද?

දෙවන අවසන් පූර්ව තරගය

හමීඩ් අල් හුසේනි විද්‍යාලය – යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය

හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් හට අර්ධ අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ගම්පොළ සහිරා විද්‍යාලයීය කණ්ඩායමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු විය. එම තරගයේ ලකුණු තත්වය ගෝල 2-1ක් ලෙස දැක්වුනත් එම තරගය පුරාවට සිය ආධිපත්‍ය පතුරවා ගනිමින් ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් සමත් විය.  කණ්ඩායමේ නායකත්වය දරමින් මැදපෙළ ක්‍රීඩා කරන මොහොමඩ් අමාන් සමඟින් මොහොමඩ් අෆ්කාර් සහ දිනේෂ් සුරේන් ප්‍රතිවාදීන් හට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇති බව නොඅනුමාන ය. මෙය ඔවුන් බලාපොරොත්තුවෙන් පසු වූ අවසන් පූර්ව තරගය නොවුනත් යාපනයෙන් ඔවුන්ට විශාල අභියෝගයක් එල්ල වනු ඇත.

යාපනයේ ප්‍රබලයින් අභිබවන්නට හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින්ට හැකි වෙයි ද?

අර්ධ අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල සහිරා විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව කිසිවෙකුත් නොසිතූ පළමු අර්ධයේ දී ගෝල 0-3ක් ලෙස තරගයේ පෙරමුණට පැමිණ අවසානයේ දී දඬුවම් පහර වටයෙන් තරගය ජයග්‍රහණය කරමින් සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය. ශාරීරිකව සහ වේගයෙන් ඉතා ඉහළ මට්ටමක සිටින ඔවුන්ගේ කණ්ඩායම තුළ ඉදිරිපෙළ සහ මැදපෙළ ක්‍රීඩකයින්ගේ අත්දැකීම් මෙන්ම දක්‍ෂතා හරහා ඔවුන්ට ඕනෑම කණ්ඩායමකට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැක. ඒ අනුව ඉදිරිපෙළ ක්‍රීඩා කරන හැමිල්ටන් හයින්ස් සහ රජිකුමාර් සාන්තන් ප්‍රතිවාදීන් හට ප්‍රබල තර්ජනයක් වනු නොඅනුමාන ය. තවදුරටත් රමේෂ් දිලක්ෂන්ගේ නායකත්වය ද ඔවුන්ට දැඩි ශක්තියක් වනු ඇත.

මෙවර ශූරතාවය යාපනයට හිමි වෙයි ද?

තරගාවලියේ 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවැත්වෙන තරගය එළඹෙන 16 වන (ඉරිදා) දින සවස 3ට ද තරගාවලියේ අවසන් මහා තරගය එදිනම සවස 5.30ට ද කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙනු ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<