පරදින තෙක්ම නොදුටු පැතිකඩ

277

අතේ තිබූ දේ කටට දාගත නොහැකි වූවා වාගේ යන පැරණි කියමන යළි සිහිගන්වමින් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය නිමාවට පත්විය.

[rev_slider LOLC]

ආරක්ෂා කර ගැනීමට ඕනෑවටත් වඩා ලකුණු පුවරුවේ සටහන්ව තිබියදීත්, බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කර ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වීම එම වේදනා ජනක පරාජයට හේතු විය.

කුසල්ලාගේ සිහින රහීම්ගේ ප්‍රහාරයෙන් සුනුවිසුනු වෙයි

බංග්ලාදේශ පිලේ වගකීම තනි අතට ගනිමින් පන්දු 35ක දී මුෂ්ෆිකර් රහීම් විසින් රැස් කරන ලද ලකුණු 72ක ඉනිම හේතුවෙන් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ…

විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිමේ දී රැස් කරන ලද දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දැවැන්ත ලකුණු පුවරුවට එක් කිරීමට කුසල්ලා ප්‍රමුඛ ශ‍්‍රී ලංකා පිතිකරුවෝ සමත් වුවද, නිසි එල්ලයක් නොමැති වූ පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීම හමුවේ සියල්ල සුනුවිසුනු වී ගියේය. අතේ තිබූ දේ කටට දා ගැනීමට නොහැකි වූවා යැයි පූර්විකාවේ සඳහන් කරන ලද්දේ එබැවිනි.

හතුරුසිංහ මහතාගේ ආගමනයත් සමග හදිසියේම අළු ගස දමා නැගී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම දක්වන ලද දක්ෂතා දැක බල ගැනීම සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ 30,000කට අධික ප්‍රේක්ෂක පිරිසගේ ප‍්‍රීති ඝෝෂා හඬ මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද කරවාලමින් ලකුණු 215ක ජයග්‍රාහී ඉලක්කය බංග්ලාදේශය සපුරා ගන්නා ලද්දේ තරගය නිමාවීමට තවත් පන්දු 2ක් ඉතිරිව තිබිය දීය.

”කණ්ඩායමක් විදියට වැරදි සිදු වුනා. එහෙම කියලා අපිට කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැහැ. හැබැයි ඉතාමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් තමයි පිතිකරුවන් ලබා දුන්නේ. ඉතිං පන්දු යැවීමේ දී පොඩි පොඩි දුර්වලතා තිබුණා. මං හිතනවා පන්දු යවන්නන් ඊළඟ තරගයේ දී කණ්ඩායමේ සැලසුමට අනුව හොඳින් පන්දු යවයි කියලා” යැයි තරගාවසානයෙන් පසු මාධ්‍ය හමුවේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දමාල් පැවසීය.

සැබැවින්ම මෙම තරග පරාජයට වගකිව යුත්තේ පන්දු යවන්නන් බව තරගයේ සිදුවූ අඩුපාඩු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පැහැදිලිවම පෙනී යයි. අවසන් පන්දු 12 දී ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ පිලට ලකුණු 19ක් ලබාගත යුතු වූ අතර පළමු පන්දු 3 දී කඩුල්ලක් දවා ගනිමින් පීඩනය යොමු කර නුවන් ප‍්‍රදීප් සිව්වැනි පන්දුවේ දී යොමු කරන ලද ෆුල්ටොස් පන්දුව නොවන්නට තරගය බොහෝ විට ශ‍්‍රී ලංකාවේ වාසියට සිටිනු ඇත. අත්‍යවශ්‍යම මොහොතේ දී ලද ලොතරැයි වාසනාවක් බඳු එම දුර්වල පන්දුව මැනවින් ප්‍රයෝජනයට ගත් රහීම් එය දැවැන්ත හයේ පහරක් බවට පරිවර්තනය කර ගනිමින් එතෙක් වේලා දෙපිළටම දෝලනය වූ තරගය බංග්ලාදේශය දෙසට සින්නක්කරවම ලබා දීමට සමත් විය. 16 වැනි පන්දු වාරයේ දී තිසර යොමු කරන ලද නෝ බෝල් පන්දුවත්, ඊට පසු යවන ලද ෆ‍්‍රී හිටි පන්දුවටත් මහමුදුල්ලා ලකුණු 10ක් ලබා ගැනීම ද පන්දු යැවීමේ දී සිදවූ දැවැන්ත දුර්වලතාවක් ලෙස සඳහන් කළ හැක.

හතේ හත වැදී සිටි ලංකාවට කුසල් පිහිට වුන හැටි

අවසන් වසර 2ක කාලය තුල දී විස්සයි විස්ස තරග අංශයේ දී ඉන්දියාව හමුවේ හතේ හත වැදී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පරාජිත ගමනට තිත තැබීම වෙනුවෙන් පන්දු 37ක දී දියත් කරන…

කඩුලු 5ක ජයක් ලෙසින් සටහන් වුන එම ජයග්‍රහණය මෙරට පැවති තරගයක දී හඹා ගොස් ජය ගනු ලැබූ දැවැන්තම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට ද පත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ බංග්ලාදේශයට එරෙහිව පාකිස්තානය හඹා යමින් ජය ගනු ලැබූ ලකුණු 178 විය.  2012 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති එම තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

”ඇත්තටම පිතිකරුවන් විදියට අපි හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. නමුත් මේ වගේ දේවල් ක්‍රිකට් ක්‍රීඩාවේ දී සිදු වෙනවා. අපිට හැමදාම දිනන්න බැහැ. කණ්ඩායමක් විදියට අපි කල්පනා කරන්නේ කොහොමද හැම තිස්සෙම ප‍්‍රතිවාදී කණ්ඩායමට තරගකාරීත්වයක් දෙන්නේ කියලා. එතකොට අපිට ජයග්‍රහණය කරන්න තියෙන ප්‍රතිශතය වැඩියි. එහෙම තමයි සැලසුම් සකස් කරන්නේ. අද පැරදුනත් අපි හොඳින් ක‍්‍රීඩා කළා. නමුත් අද දවසේ දී බංග්ලාදේශ කණ්ඩායම අපිට වඩා හොඳට ක්‍රීඩා කරපු නිසා අපිට පරාජය විඳ ගැනීමට සිදු වුනා. මේ වගේ දේවල් ක්‍රිකට් ක‍්‍රීඩාවේ දී සිදු වෙනවා” යැයි චන්දිමාල් පවසයි.

”ලකුණු 200කට වඩා ලකුණු පුවරුවේ තිබෙනවා නම් එය බොහෝ විට ජයග්‍රහණයක් කරා යන තරගයක්. ක්‍රිකට් කියන්නේ විනෝද ජනක ක්‍රීඩාවක් මෙන්ම  ඕනෑම වෙලාවක වෙනස් විය හැකි දෙයක්. මෙහි දී බංග්ලාදේශ කණ්ඩායමට සියලු ගෞරවය හිමි විය යුතුයි. ඔවුන් අවශ්‍ය වෙලාවේ දී තරගය ඉතා හොඳින් හැසිරවූවා.” යැයි වැඩිදුරටත් චන්දිමාල් අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිබිදීම දෙස බැලීමේ දී පිතිකරුවන්ගේ දක්ෂතා ඉතා ඉහළ තත්ත්වයක වුවත්, පන්දු යවන්නන්ගේ තත්ත්වය නම් තවමත් කැපී පෙනෙන තත්ත්වයක නොවන බව නොරහසකි. එය බංග්ලාදේශය සමඟ ක්‍රීඩා කරන ලද අවසන් තරග 3 දී පැහැදිලිවම දැක ගත හැක.

මෙම තරගයට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට ගොස් තරග වැදි තරග 2 දී ද, බංග්ලාදේශ කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැගීමට සමත්වූ අතර මෙම තරගයේ දී ද ලකුණු 215ක් හඹා යමින් ජය වාර්තා කළේය. එ් සියල්ල සංසන්දනය කර බැලීමේ දී පන්දු යැවීමේ දී දැඩි දුර්වලතාවක් පවතිනු ඇති බව පැහැදිලිවම පෙනී යයි. මෙය අපිට මීට පෙර දැක ගැනීමට නොහැකි වූයේ එම දැවැන්ත ඉලක්ක කිසිම අපහසුවකින් තොරව ශ‍්‍රී ලංකා පිතිකරුවන් හඹා යමින් තරග ජය ගැනීම නිසාය.  එසේ නම් අප කළ යුත්තේ කුමක් ද? පැහැදිලිය. පිතිකරණයෙන් නැගී සිටියා සේම පන්දු යැවීම පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

”හැම තරගයක්ම අපිට වැදගත්. අපිට සැලසුම් තිබුනත් එ්වා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා එ් විශ්වාසය ඉදිරි තරගවල දී පවත්වා ගෙන යන්න” යැයි පවසන චන්දමාල් ”එය ඉතා හොඳ ඉනිමක්. එ් වගේම බංග්ලාදේශ අවසන් වසර 2ක පමණ කාලයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කළ කණ්ඩායමක්. එ් වගේමය මුෂ්ෆිකර් ක‍්‍රීඩා කරන ලද එ් ඉනිම මම ඔහුගෙන් දැකපු හොඳම ඉනිමයි” යැයි පැවසීය.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මෙම මස 12 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<