ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට එන සුපිරි තරු

World Athletics Championship 2025

20

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය එළඹෙන 13 වැනි දා ජපානයේ ටෝකියෝ හිදි ආරම්භ වීමට නියමිත අතර, මෙවර තරගාවලිය වෙනුවෙන් ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් සිය සහභාගීත්වය තහවුරු කර තිබෙනවා.  

ඒ අනුව මෙවර ලෝක ශූරතාවලිය වෙනුවෙන් මේ වන විට ලොව පුරා මලල ක්‍රීඩා රසිකයින්ගෙන් මෙන්ම මාධ්‍යවලින් ද ඉහළ අවධානයක් යොමු වී තිබෙනවා. 

එවන් වාතාවරණයක් තුළ මෙවර ලෝක ශූරතාව තුළ ඔබේ විශේෂ අවධානය යොමු විය යුතු ඉසව් සහ මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිළිබඳ සටහන් කිරීමට Thepapare අපි තීරණය කළා. 

කාන්තා මීටර් 100 

මෙම ඉසව්වේ වත්මන් ලෝක ශූරිය ලෙස ඇමරිකාවේ ShaSha’Carri Richardson කිරුළු දරා සිටින නමුත්, මෙවර තරග වාරය තුළ ඇය තවමත් සිය රිද්මය සොයා ගෙන නොමැති බව පෙනෙන්නට තිබෙනවා. 

කෙසේ වෙතත් වත්මන් ඔලිම්පික් ශූරිය වන Julien Alfred මෙම වසර තුළ තමන් සහභාගී වූ බොහෝ තරග ඉසව් ජය ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සිටිනවා. ඇයට මෙවර එල්ල වන විශාලතම අභියෝගය ලෙස ඇමරිකාවේ Melissa Jefferson-Wooden හඳුනා ගත හැකි අතර, ඇය විසින් මෙම තරගවාරයේ හොඳම ධාවන කාලය ලෙස තත්පර 10.65ක් වාර්තා කර ඇති අතර, මෙම වසර තුළ ඇයගේ මෙම ධාවන කාලය අසලටවත් පැමිණීමට වෙනත් කිසිවකු හෝ සමත් වී නැහැ. 

මේ අතර ජැමෙයිකානු ධාවන ශූරී Shelly Ann Fraser Pryce සිය ධාවන දිවියේ අවසන් කඩ ඉමට සමීප වී සිටින අතර, මෙවර තරගාවලිය ඇයට සමු ගැනීමේ මතකයක් කර ගැනීමට ද හැකියාව පවතිනවා. 

පිරිමි මීටර් 100 

පසුගිය වසරේ ඔලිම්පික් උළෙලේ වඩාත් උණුසුම් තරග ඉසව්ව වූ පිරිමි මීටර් 100 ඉසව්ව, මෙවර ද එවන් වාතාවරණයක් තුළ දියත් වීමට සූදානම්. මෙවර ඉසව්ව වෙනුවෙන් වත්මන් ඔලිම්පික් සහ ලෝක ශූරයා ලෙස Noah Lyles ඉදිරිපත් වනු ඇති. කෙසේ වෙතත් මෙම වසර තුළ වඩාත් සාර්ථක ධාවනයක නිරත වෙමින් සිටින ජැමෙයිකාවේ Kishane Thompson මෙවර Lyles හට සිය පදක්කම ලබා නොදීමට අදිටන් කර ඇති බව නොඅනුමානයි. මෙම වසරේ හොඳම ධාවන කාලය ද Thompson සතු වන අතර, ඔහුගේ තරග නිමි කාලය තත්පර 9.75ක් ලෙස සටහන් වී තිබෙනවා. 

එමෙන්ම ජැමෙයිකාවේ ම Oblique Seville මෙන්ම ඇමරිකාවේ Kenneth Bednarek ද මෙවර ධාවන පථයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමේ බලාපොරොත්තුවෙන් පසු වනවා. මේ සියලු දෙනා අතරේ දකුණු අප්‍රිකාවේ Akani Sibine ද තවමත් සිය සුපුරුදු දක්කමි දක්වමින් පදක්කමක් වෙනුවෙන් දෑස් දල්වා සිටීම ම මෙවර පිරිමි මීටර් 100 ඉසව්වේ උණුසුම දැනටමත් ඉහළ දමා තිබෙනවා. 

කාන්තා මීටර් 200 

මෙම ඉසව්ව සඳහා ද Julien Alfred සහ Melissa Jefferson-Wooden අතර තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතරට වත්මන් ඔලිම්පික් ශූරිය වන ඇමරිකාවේ Gabby Thomasගේ පැමිණීම නිසා මෙම ඉසව්ව ද ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව පෙරැයීම් කල හැකි. 

පිරිමි මීටර් 200 

ඇමරිකානු ක්‍රීඩක Noah Lyles මෙම ඉසව්ව වෙනුවෙන් ද ඉදිරියෙන් ම සිටින තරග කරු ලෙස හඳුනාගත හැකි. කෙසේ වෙතත් ඔහුට මෙවර ඇමරිකාවේ ම Kenneth Bednarekගෙන් දැවැන්ත අභියෝගයක් එල්ල වනු ඇති බව අනුමාන කළ හැකි. විශේෂයෙන්ම Kenny මේ වන විට සිය උපරිම දක්ෂතා අතරට පැමිණ සිටීම මෙන්ම, ඔහු සහ Lyles අතර මීට පෙර සිදු වූ උණුසුම් සිදුවීමක් ද නිසා තවත් තරගය උණුසුම් වනු ඇති. කෙසේ වෙතත් බොට්ස්වානා දේශයේ Letsile Tebogo ද මෙම ඉසව්ව වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත හැකි ධාවකයකු ලෙස ඉදිරියෙන් පසු වනවා.  

කාන්තා මීටර් 400 

මෙම ඉසව්ව වෙනුවෙන් කැපී පෙනෙන තරගකාරියන් අතරේ මෙම තරග වාරයේ හොඳම කාලය වාර්තා කර ඇති බහරේනයේ Salwa Eid Naser සහ වත්මන් ලෝක ශූරිය වන Marileidy Paulino ඉදිරියෙන් පසු වනවා. කෙසේ වෙතත් ඔවුන්ට මෙවර නොසිතූ අභියෝගයක් ඇමරිකාවෙන් එල්ල වීමට නියමිතයි. කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝක ශූරිය සහ ලෝක වාර්තාවේ හිමිකාරිනිය වන Sydney Levrone McLaughlin මෙවර මීටර් 400 ඉසව්වට අවතීර්ණ වී ඇති අතර, මෙම තරගවාරයේ තෙවැනියට හොඳම ධාවන කාලය හිමි ක්‍රීඩිකාව ලෙස ද ඇය පසු වනවා. 

පිරිමි මීටර් 400 

මෙම ඉසව්වේ ඔලිම්පික් ශූරයා වන Quincy Hall ආබාධයක් නිසා මෙවර තරගාවලියට එක් වන්නේ නැහැ. නමුත් දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එක් වරම මතු වූ Zakithi Nene මෙම තරගවාරයේ හොඳම කාලය ලෙස තත්පර 43.67ක කාලයක් වාර්තා කරමින් විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම ඇමරිකානු ක්‍රීඩක Jacory Patterson ද මෙම ඉසව්ව වෙනුවෙන් ප්‍රබල ධාවකයකු ලෙස හඳුනාගත හැකි. 

කඩුලු මතින් දිවීමේ ඉසව් 

කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව වෙනුවෙන් වත්මන් ඔලිම්පික් ශූරිය වන Masai Russell සහ වත්මන් ලෝක ශූරිය වන Danielle Williams අතර තියුණු සටනක් නිර්මාණය වනු ඇති.  

පිරිමි මීටර් 110 ඉසව්ව වෙනුවෙන් වසර ගණනක ආධිපත්‍යයක් ගොඩ නගා ගෙන ඇති ඇමරිකාවේ Grant Holloway මෙවරත් සිය කිරුළ රැක ගනී ද යන්න මේ වන විට ගැට‍ළුවක් වී තිබෙනවා. මෙම තරගවාරයේ දී ඔහු වෙනුවට ඇමරිකාවේ ම Cordell Tinch මෙම වසරේ හොඳම ධාවකයා ලෙස කැපී පෙනෙමින් සිටිනවා. 

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝක වාර්තාවේ හිමිකාරිනිය සහ ඔලිම්පික් ශූරිය වන Sydney Levrone McLaughlin මීටර් 400 ඉසව්වට අවධානය යොමු කිරීමත් සමඟම මෙම ඉසව්වේ වත්මන් ලෝක ශූරිය වන නෙදර්ලන්තයේ Femke Bol මෙම ඉසව්ව ජය ගැනීමට ඉහළ අවස්ථාවක් ඇති ක්‍රීඩිකාව ලෙස හඳුනාගත හැකි. 

දිගු දුර දිවීම ඉසව් 

කාන්තා මීටර් 800 ඉසව්ව වෙනුවෙන් වත්මන් ඔලිම්පික් ශූරිය වන මහා බ්‍රිතාන්‍යයේ Keely Hodginkson පෙරමුණේ පසුවනවා. එමෙන්ම පිරිමි මීටර් 800 ඉසව්ව වෙනුවෙන් කෙන්යාවේ Emmanuel Wanyonyi, කැනඩාවේ Marco Arop සහ ඇල්ජීරියාවේ Djamel Sedjati අතරේ හොඳ තරගයක් නිර්මාණය වනු ඇති. 

මේ අතර කාන්තා මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් බොහෝ දෙනාගේ බලාපොරොත්තු කෙන්යාවේ Faith Kipyegon හට හිමි වී ඇති අතර, වත්මන් ලෝක ශූරිය සහ ලෝක වාර්තාවේ හිමිකාරිනිය වන්නේ ද ඇයයි. එමෙන්ම කාන්තා මීටර් 5000 ඉසව්ව වෙනුවෙන් ද Faith ඉහළ පෙළේ තරගකාරිනියක් වනු ඇති අතර, කෙන්යාවේ ම Beatrice Chebet ද මෙහි දී අවධානය යොමු කළ යුතු ක්‍රීඩිකාවක් ලෙස සැලකිය හැකි. 

උස පැනීම 

මෙම ඉසව්ව වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ යුක්‍රේනය අතර තියුණු සටනක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. මෙම ඉසව්වේ වත්මන් ලෝක ශූරිය සහ ලෝක වාර්තාවේ හිමිකාරිනිය වන යුක්‍රේනයේ Yaroslava Mahuchikh සහ මෙම වසරේ හොඳම දක්ෂතාව දක්වා ඇති ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Nicola Olyslagers මෙහි දී උරෙනුර ගැටීමට සූදානම්. 

මේ අතර පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කරමින් ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරයා වන නවසීලන්තයේ Hamish Kerr මෙන්ම, දකුණු කොරියාවේ Sanghyeok Woo සහ යුක්‍රේනයේ Oleh Doroshchuk ප්‍රබල තරගකරුවන් ලෙස ඉසව්වට සහභාගී වනු ඇති. 

රිටි පැනීම 

වත්මන් ලෝකයේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි ස්වීඩනයේ Mondo Duplantis හට මෙම ඉසව්ව වෙනුවෙන් ඉහළ බලාපොරොත්තු තබා ගත හැකි අතර, ඉසව්ව ජය ගැනීමට අමතරව නැවත වරක් මෙම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීම ඔහුගේ ප්‍රධාන බලාපොරොත්තුව වනු ඇති. 

දුර පැනීම 

කාන්තා දුර පැනීම ඉසව්ව වෙනුවෙන් මෙවර ඇමරිකාවේ Tara Davis Woodhall පෙරමුණේ පසුවනවා. වත්මන් ඔලිම්පික් ශූරිය මෙන්ම, මෙම වසරේ හොඳම දක්ෂතාවට ද හිමි කම් කියන ඇය පහසුවෙන් ම මෙම ඉසව්වේ පෙරමුණට පැමිණෙනු ඇති බව විශ්වාස කල හැකි. 

පිරිමි දුර පැනීම ඉසව්වේ දී වත්මන් ලෝක ශූරයා වන ග්‍රීසියේ Miltiadis Tentoglou පෙරමුණේ පසු වනවා. ඔහු වසර ගණනක් තිස්සේ මෙම ඉසව්වේ ආධිපත්‍යය රඳවා ගැනීමට සමත් වී සිටි නමුත්, ඉතාලිය නියෝජනය කරනා යොවුන් ක්‍රීඩක Mattia Furlani මේ වන විට Tentoglou හට දරුණු අභියෝගයක් එල්ල කිරීමට සමත් වී තිබෙනවා. 

මේ අතර කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන, වත්මන් ලෝක ශූරිය වන වෙනිසියුලාවේ Yulimar Rojas මෙවර ලෝක ශූරතාවය සමඟ කලකට පසුව නැවත මලල ක්‍රීඩා පිටියට අවතීර්ණ වීමට සූදානමින් පසු වනවා. 

යගුලිය සහ කවපෙත්ත විසිකිරීම  

කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වේ පෙරමුණ ගැනීමට බලාපොරොත්තුවෙන් ඇමරිකාවේ Chase Jackson මෙවර ලෝක ශූරතාවයට ඉදිරිපත් වනවා. කෙසේ වෙතත් ඇයට වත්මන් ඔලිම්පික් ශූරිය වන ජර්මනියේ Yemisi Ogunleye විසින් මෙවර ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති. 

මේ අතර මෙවර තරගවාරයේ තවමත් තරග බිමට නොපිවිසි පිරිමි යගුලිය විසි කිරීමේ ශූරයා වන ඇමරිකාවේ Ryan Crouser මෙවර ලෝක ශූරතාවයේ දී තරග බිමට පිවිසෙමින් තම ගෞරවය වෙනුවෙන් සටන් වදිනු ඇති. 

මේ අතර මෙවර ලෝක ශූරතාවයේ දී තවත් බලාපොරොත්තු සහගත නමක් ලෙස හඳුනා ගත හැකි ලිතුවේනියාවේ Mykolas Alekna පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වනු ඇති. සිය පියාගේ අඩිපාරේ යමින් සිය පළමු ලෝක ශූරතාව ජය ගැනීමේ අදිටනින් ඔහු පිටියට පිවිසීමට නියමිතයි. මේ වන විට ඉසව්වේ ලෝක වාර්තාව ද ඔහු සතු වනවා. 

හෙල්ල විසි කිරීම 

මේ අතර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු මේ වන විට සිය අවධානය ලබා දී ඇති මලල ක්‍රීඩා ඉසව්ව වන පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව වෙනුවෙන් ද ඉතා තියුණු සටනක් නිර්මාණය වනු ඇති. මෙහි දී මෙම වසරේ ලොව හොඳම දක්ෂතාවට හිමිකම් කියන ජර්මනියේ Julian Webber, මෙන්ම බ්‍රසීලයේ Luiz Mauricio Da Silva සහ වත්මන් ලෝක ශූරයා වන ඉන්දියාවේ Neeraj Chopra ද මෙවර පදක්කම් සටනට පිවිස තිබෙනවා. එමෙන්ම ආබාධයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඈත් වී සිටි වත්මන් ඔලිම්පික් ශූර පාකිස්තානයේ Arshad Nadeem ද මෙම ඉසව්වට සහභාගී වීමට නියමිත අතර, මෙම ක්‍රීඩකයින් සමඟ උරෙන් උර ගැටීමට සූදානමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ ද මේ වන විටත් ජපානය බලා පිටත්ව ගොස් අවසානයි. 

මෙවර මලල ක්‍රීඩා ලෝක ශූරතාව පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානමින් පසු වනවා, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<