සමස්ත මොරටු පුරවරයම උණුසුම් කරවන රන් සටනේ 32 වැනි සීමිත පන්දුවාර තරගය ජයග්‍රහණය කිරීමට ඊයේ (12) සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය. සෙබස්තියන් පිතිකරුවන් ජයග්‍රහණය ආසන්නයටම පැමිණ තිබූ මොහොතේ ක්‍රීඩා පිටිය මැදට කඩා වැදුණු ප්‍රේක්ෂකයින්ගේ නොමනා හැසිරීම නිසා තරගය නතර කිරීමට සිදු වූ බැවින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 62ක ජයක් සෙබස්තියන් විදුහල සතු විය.

අයහපත් ආලෝකය තත්වය තෝමසුවන්ගේ ජය වළක්වයි

පැය දෙකකටත් අධික කාලයක් පැවති අයහපත් ආලෝක තත්වයත්, අතොරක් නැතිව ඇද හැලුණු පොද වැස්සත් නිසාවෙන් තරග උණුසුම සේදී ගිය 138 වැනි නිල් මහ සටන..

දෙපිළේම නායකයින්ගේ වාසනාව උරගා බලනු රිසියෙන් ඉහළ නැගුණු කාසිය වේල්ස් කුමර නායක විශ්ව චතුරංගට ජයග්‍රහණය උරුමකර දෙමින් පෙරළී යද්දී ඔහුගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව ඉනිම ඇරඹූ සඳුන් ප්‍රනාන්දු සහ විශ්ව චතුරංග වේල්ස් කුමර විද්‍යාලයට යම් අඩිතාලමක් දමා දුන්න ද කිසිදු පිතිකරුවෙකු ඉහළ ලකුණු සංඛ්‍යාවකට යාමට අසමත් වීම නිසා ඔවුන්ට දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට හැකි වූයේ නැත. පන්දු වාර 43යි පන්දු 4ක් ගත වන විට වේල්ස් කුමර ඉනිම ලකුණු 159කට සීමා වන්නේ ඒ අනුවයි.

ආරම්භක පිතිකරු විශ්ව චතුරංග  ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 15ක් තුල දී ලකුණු 26ක් ලබා ගත්තේ වේල්ස් කුමර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. අවිඳු ප්‍රනාන්දු ලකුණු 21යි. ඒ හැරුණු කොට අනෙක් කිසිදු වේල්ස් කුමර පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පසුකර යාමටවත් සමත් නොවීය. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පන්දුව කඩුල්ලේ වැදී දැවී යද්දී අංක 3 සහ 4 පිතිකරුවන් දෙදෙනා වන සනෝජ් දර්ශික සහ අවිඳු ප්‍රනාන්දු ලකුණු 27ක සබඳතාවයක් ගොඩ නගමින් කඩුලු බිඳ වැටීම තරමක් පමා කරන්නට සමත් විය.

නමුත් ලකුණු 17ක් ලබා සිටි දර්ශික ලබා දුන් උඩ පන්දුව හතරේ සීමාව ආසන්නයේ සිට රැක ගැනීම නිසාත් අවිඳු ප්‍රනාන්දු, තෂික් පෙරේරාගේ දෙවැනි ගොදුර බවට පත්වීමත් සමඟ නැවතත් වේල්ස් කුමර විද්‍යාලයේ ගරා වැටීම ඇරඹුණි. ඔවුන්ගේ අවසන් කඩුලු 7 ලකුණු 66ක් තුල බිඳ වැටුණු අතර ඒ හේතුවෙන්ම වේල්ස් කුමර ඉනිම ලකුණු 159කට සීමා විය. සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ තෂික් පෙරේරා පන්දු වාර 6යි පන්දු 4ක දී ලකුණු 25ට වේල්ස් කඩුලු 4ක්ම උදුරා ගන්නට සමත් විය. නිමේෂ් බණ්ඩාර තම පන්දු වාර 10 නිමා කළේ පන්දු වාර 2ක් සමගින් ලකුණු 19ට කඩුලු 3ක් බිඳ හෙලමිනි.

[rev_slider dfcc728]

පිළිතුරු ඉනිම ඇරඹූ සෙබස්තියන් විද්‍යාලයේ මලින්ත පීරිස් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කර ඇති දක්ෂ පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු වේල්ස් කුමර පන්දු යවන්නන් ඉදිරියේ ඉතාමත් විශිෂ්ට අන්දමින් ඉනිම ගොඩ නගන්නට විය. හොඳ පන්දු වලින් ආරක්ෂා වෙමින් දුර්වල පන්දු වලට වැරෙන් පහර එල්ල කරමින් ඔවුන් ප්‍රථම කඩුල්ලේ සබඳතාවය ලකුණු 111ක් දක්වා රැගෙන ඒමට සමත් විය. හතරේ පහර 8ක් සහ එක් දැවැන්ත හයේ පහරක් සමගින් පන්දු 48ක දී ලකුණු 56ක් රැස් කල අවිශ්ක ප්‍රනාන්දු කෞමාල් නානායක්කාරගේ පන්දුවක් හමුවේ ඩීප් ලෝන්-ඔන් කලාපයට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ සෙබස්තියන් ප්‍රථම කඩුල්ල ලෙසයි.

කෙසේ වෙතත් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නවිඳු ප්‍රනාන්දු එකදු ලකුණකින් හෝ සෙබස්තියන් ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත් නොවූ අතර නායක මිශේන් සිල්වා (06) සහ නිමේෂ් බණ්ඩාර (10) සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණයට ඉතාමත් ආසන්නව සිටිය දී දැවී ගියහ. අනෙක් අන්තයේ කඩුලු දැවී යන මොහොතේ තම කඩුල්ල රැක ගත් මලින්ත පීරිස් දර්ශනීය පිතිහරඹයක නිරත වෙමින් තම අර්ධ ශතකය කරා ලගා විය.

ඔහු අංක 6 පිතිකරු තරූෂ ප්‍රනාන්දු සමග එක් වී සෙබස්තියන් ඉනිම ලකුණු 154ක් දක්වා ගෙන ආ මොහොතේ ප්‍රේක්ෂකයින් පිටිය මැදට පැමිණීම හේතුවෙන් තරගය නතර කරන්නට විනිසුරුවරුන් ක්‍රියා කල අතර අවසානයේ දී වැඩි දක්ෂතා දැක්වූ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව ලකුණු 62ක ජයක් හිමි විය. වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා ලෙස සවිඳු පීරිස් ලකුණු 21ට කඩුලු 3ක් බිඳ හෙලීය.

වේල්ස් කුමර විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 43.4): විශ්ව චතුරංග 26, අවිඳු ප්‍රනාන්දු 21, සංජය ප්‍රනාන්දු 18, සඳුන් ප්‍රනාන්දු 15, තෂික් පෙරේරා 4/25, නිමේෂ් බණ්ඩාර 3/19.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 154 (පන්දුවාර 33.1): මලින්ත පීරිස් 62*, අවිශ්ක ප්‍රනාන්දු 56, නිමේෂ් බණ්ඩාර 10, සවිඳු පීරිස් 3/21.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට