අන්තෝනි ක්‍රීඩකයෝ, ධර්මරාජයට පසුපසින් පැමිණ පහර දෙති

598

සය වැනි සතිය ආරම්භ කරමින් අද (01) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව පැවති රග්බි තරගය 34-24ක් ලෙස ජය ගන්නට කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල සමත් විය.

කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කිරීමේ අරමුණින් පිටියට පිවිසියේ මේ තරගය ජයගතහොත් තමන්ට ශූරතාවය සඳහා තරග වදින කාණ්ඩයට පියමන් කිරීමේ යම් අවස්ථාවක් පවතින බව සිතෙහි දරාගෙන ය.

අතරමගදී හමුවූ ප්‍රතිවාදීන් තිදෙනෙකු හමුවේ නොනැවතුණු ධර්මරාජ නායක චාමික සිල්වා, ප්‍රථමයෙන්ම උත්සාහක දිනුම් රේඛාව පසුකළේය. ගිහාන් ඉෂාර ලබා ගත් ප්‍රවර්තන පා පහර සාර්ථක වීමත් සමඟ ධර්මරාජය ඉදිරියට ගියේය. (ධර්මරාජ 07-00 අන්තෝනි)

දිනයේ මීළඟ උත්සාහක දිනුම වාර්තා කළේ ධර්මරාජයේ සෙන්ටර් ක්‍රීඩක ගිහාන් මාලිංග ය. එහි ප්‍රවර්තනයේ දී ගිහාන් ඉෂාර අසමත් වූ අතර ප්‍රතිවාදීන්ගේ ඉදිරි පෙළ ප්‍රහාරය ඉන් පසු ඇරඹිණි. අන්තෝනි ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගෙන් ලද අනගි සහයත් සමඟින් ඉදිරියට ගිය මොහොමඩ් මකරීම් උත්සාහක දිනුමක් වාර්තා කළ පසු එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සැමුවෙල් මධුවන්ත සමත් විය. (ධර්මරාජ 12-07 අන්තෝනි)

චාමික සිල්වා තම පන්දු හුවමාරු දක්ෂතා ප්‍රදර්ශනය කරමින් වින්ග් ත්‍රී ක්‍රීඩක දුලන්ත පියතිස්සට ලබා දුන් පන්දුව උත්සාහක දිනුම් සීමාවෙන් එපිටට රැගෙන යාමට දුලන්ත සමත් විය. ගිහාන්ගේ ප්‍රවර්තනය සාර්ථකයි. (ධර්මරාජ 19-07 අන්තෝනි)

මේ වන විට ලීගයේ සිටින හොඳම දක්ෂතා සහිතවුවන් අතර මුල් තැනක් හිමි සැමුවෙල් මධුවන්ත, මීටර 30ක පමණ දුරක සිට යම් ආනතියක්ද ඇතුව ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. ඊට ප්‍රවර්තිත උත්සාහක දිනුමක්ද එක්කරමින් ලකුණු පරතරය 2ක් දක්වා අඩුකරගන්නට අන්තෝනි නායක දිනුක් අමරසිංහ සමත් විය. එනමුත් බවන්ත උඩන්ගමුව විසින් සිදු කළ සාර්ථක ධාවනයක් අවසානයේ දී සියතට ලැබුණු පන්දුවත් සමඟින් උත්සාහක දිනුම් රේඛාව මතින් පැනගත් ධර්මරාජයේ ගිහාන් මාලිංග, දිනය තුළ තම දෙවන උත්සාහක දිනුමත් රැස්කළේය. (ධර්මරාජ 24-17 අන්තෝනි)

පළමු අර්ධය නිමාවූයේ ධර්මරාජ විදුහලට ඉදිරිය ලබා දෙමිනුයි.

පළමු අර්ධය – ධර්මරාජ විද්‍යාලය 24 (4T 2C) – 17 (2T 2C 1P) සාන්ත අන්තෝනි විද්‍යාලය

අන්තෝනියේ මානසිකත්වය ඉහළ නංවමින් නායක දිනුක් අමරසිංහ දෙවන අර්ධය ආරම්භයේදීම උත්සාහක දිනුමක් රැස්කළේය. ප්‍රවර්තනය සඳහා මධුවන්ත වෙනුවට එක්වූ එම්. වනසිංහ එහි දී අසාර්ථක විය. (ධර්මරාජ 24-22 අන්තෝනි)

සාන්ත අන්තෝනි කණ්ඩායමේ ලොක් ස්ථානයේ සිට අංක 8 ස්ථානය වෙත යොමුකෙරුණු මොහොමඩ් ශාබීර් විසින් තීක්ෂණ ගුණසිංහ වෙත ලබා දුන් පන්දුව නැවතත් ඔහු අතට ලැබුණු අතර එය කෙලින්ම උත්සාහක දිනුම් රේඛාව වෙත ගෙන යන්නට ඔහුට හැකි විය. වනිගසිංහගේ ප්‍රවර්තනය එවර සාර්ථකයි. (ධර්මරාජ 24-29 අන්තෝනි)

අවසන් භාගයේ දී තරගයට ආදේශ කෙරුණු අන්තෝනි විදුහලේ එච්. පෙරේරා, තරගයේ 76 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් රැස්කරමින් අන්තෝනියේ ජය තහවුරු කළේය.

සම්පූර්ණ කාලය – ධර්මරාජ විද්‍යාලය 24 (4T 2C) – 34 (5T 3C 1P) සාන්ත අන්තෝනි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – දිනුක් අමරසිංහ (අන්තෝනි)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

සාන්ත අන්තෝනි – දිනුක් අමරසිංහ 2T, මොහොමඩ් මකරීම් 1T, මොහොමඩ් ශාබීර් 1T, ජනිදු හිමසර 1T, සැමුවෙල් මධුවන්ත 2C 1P, එම්.වනිගසිංහ 1C.

ධර්මරාජ – ගිහාන් මාලිංග 2T, චාමික පෙරේරා 1T, දුලන්ත පියතිස්ස 1T, ගිහාන් ඉෂාර 2T.  

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට