ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2017 වසර එතරම් සුබදායක නොවූ අතර සියලුම ආකාරයේ ක්‍රිකට් තරග 30ක් අතුරින් ඔවුන්ට ජය ගැනීමට හැකි වුනේ තරග 11ක් පමණයි. අසීරු අවස්ථා 6ක් ඇතුළු උඩපන්දු 56ක් ඔවුන් අතින් එම කාලය තුල ගිලිහී යාම මෙම පරාජයන්ට ප්‍රධානතම හේතුවක් විය.

මෙම උඩපන්දු අතහැරීම් සිදු වූ තරග අතරට එක්දින තරග 16ක්, පන්දුවාර 20 තරග 8ක් සහ ටෙස්ට් තරග 5ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ 11න් 5ක් ම ඔවුන් සහභාගී වූ පන්දුවාර 20 තරග 8 දී වාර්තා වීම කැපී පෙනෙයි.

රංගන මොකද කරන්නේ?

ලෝක ටෙස්ට් වමත් දඟයන් අතුරින් වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳ හෙලා ඇති රංගන හේරත් කඩුලු ලබා…

2017 ජනවාරි – දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා 3 වන ටෙස්ට් තරගය:

ජොහැන්නස්බර්ග් (දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 118 ක ජයක්)

වසර ආරම්භයේ දී ම පැවති 3 වන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 5ක් ලබා සිටි හෂීම් අම්ලා ලබා දුන් පහසු උඩපන්දුවක් ගලී කලාපයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතින් ගිලිහී ගිය අතර එහි අවාසනාවන්ත පන්දු යවන්නා වුනේ සුරංග ලක්මාල්. අම්ලා ඉන් පසුව ලකුණු 134ක් දක්වා තම ඉනිම ගොඩනැගූ අතර දකුණු අප්‍රිකානුවන් පහසුවෙන් තරගය ජය ගන්නා ලදි.

2017 පෙබරවාරි – දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා 2 වන එක්දින තරගය:

ඩර්බන් – දකුණු අප්‍රිකාවට ලකුණු 121 ක ජයක්.

පෙබරවාරි පළමු වැනිදා පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය තමන් සතු කරගෙන සිටියේ 20 වන පන්දුවාරය වන විට ප්‍රතිවාදී කඩුලු 4ක් දවා ගනිමිනුයි. මෙහි දී ෆැෆ් ඩුප්ලේසී සහ ඩේවිඩ් මිලර් ඉනිම නැවත ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටි අතරතුර යලිත් වරක් පන්දුව දෑතේ රඳවා ගැනීමට අපොහොසත් වූ ධනංජය ද සිල්වා ඩුප්ලේසී ස්ලිප් කලාපයට ලබා දුන් පහසු උඩපන්දුවක් බිම හෙලද්දී කඩුලු රැකීමේ නිරතව සිටි දිනේෂ් චන්දිමාල් ඩේවිඩ් මිලර් ලබා දුන් උඩපන්දුව රැක ගැනීමට අපොහොසත් විය. මේ අවස්ථා දෙකේ දී ම කඩුලු අහිමිව ගියේ ලක්ෂාන් සඳකැන් හටයි. අනතුරුව ඔවුන් දෙදෙනාම ශතක රැස් කරමින් දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 307ක් දක්වා ඉහළ දැමූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 187ක් පමණයි. ඩුප්ලේසී සහ මිලර් හැරුණු විට අනෙකුත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතුරින් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ක්‍රිස් මොරිස් රැස් කළ ලකුණු 26 වීම අතහැරුණු උඩපන්දු ද්විත්වයේ වටිනාකම මනාවට කියා පායි.

2017 පෙබරවාරි – දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා 5 වන එක්දින තරගය:

සෙන්චුරියන් – දකුණු අප්‍රිකාවට ලකුණු 88 ක ජයක්.

5 වන එක්දින තරගයේදීත් අතහැරුණු උඩපන්දු ද්විත්වයටම ධනංජය සිල්වාගේ නම ඈදී තිබුණි. නමුත් මෙවර අවාසනාවන්ත පන්දු යවන්නා ලෙසින් ඔහුගේ පන්දු හමුවේ හෂීම් අම්ලා ලකුණු 27ක් සහ 38ක් ලබා සිටිය දී ලබා දුන් උඩපන්දු පිළිවෙළින් කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග අතින් ගිලිහී යන ලදි. දෙවරක් ජීවය ලැබූ අම්ලා අනභිභවනීය ලකුණු 154ක් රැස් කරද්දී දකුණු අප්‍රිකා ඉනිම සටහන් වුනේ කඩුලු 6කට ලකුණු 384ක් ලෙසයි. ශ්‍රී ලංකාව පිළිතුරු ලෙස කඩුලු 8කට ලකුණු 296ක් ලබා ගත්ත ද ජයග්‍රහණයක සේයාවක් දැකීමට හෝ එය ප්‍රමාණවත් වූයේ නැත.

2017 මාර්තු – ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය:

කොළඹ පී. සරා ක්‍රීඩාංගණය – බංග්ලාදේශයට කඩුලු 4ක ජයක්.

ෂකීබ් අල් හසන් ලකුණු 11ක් ලබා සිටිය දී ලබා දුන් උඩපන්දුව උපුල් තරංග අතින් ගිලිහී ගිය අතර ලකුණු 67ක දී ඔහු ලබා දුන් තවත් උඩපන්දුවක් ගිලිහී ගියේ නිරෝෂන් දික්වැල්ල අතිනුයි. ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ වැරදිවලට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ඔහු අගනා ශතකයක් වාර්තා කළා පමණක් නොව ටෙස්ට් තරග 18ක ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශය හමුවේ පරාජය ලැබීමේ අමිහිරි අත්දැකීම ද ශ්‍රී ලංකාවට උරුම කර දෙන්නට සමත් විය.

2017 ජුනි – ICC ශූරයින්ගේ කුසලානය ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය:

කාඩිෆ් (පාකිස්තානයට කඩුලු 3ක ජයක්)

Thisara Perera drops a dolly at mid-on
Thisara Perera drops a dolly at mid-on

විවාදාත්මකව වසරේ තීරණාත්මකම උඩපන්දු ගිලිහී යාම් දෙක වාර්තා වුනේ තිසර පෙරේරා සහ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පන්දු රැකීමට පැමිණි සීක්කුගේ ප්‍රසන්න අතිනුයි. අවසන් පූර්ව වටයට පිවිසීමේ සටනක් බවට පත්ව තිබූ මේ තරගයේ දී ලකුණු 38ක් ලබා සිටි සෆ්රාස් අහමඩ් පහසු උඩපන්දුවක් ලබා දුන්නේ මිඩ්-ඕන් කලාපය වෙතටයි.

Seekuge Prasanna spills a chance off Sarfraz Ahmed running in from deep square leg
Seekuge Prasanna spills a chance off Sarfraz Ahmed running in from deep square leg

පාකිස්තානය කඩුලු 3ක් පමණක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 50ක් පසුපසින් සිටි මොහොතක තිසර පෙරේරා අතින් එම උඩපන්දුව ගිලිහී ගිය අතර සෆ්රාස් තවත් ලකුණු 2ක් ලබා ගැනීමෙන් පසු ලබා දුන් තවත් උඩපන්දුවක් ගිලිහී ගියේ ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපසේ සිට දිව ආ සීක්කුගේ ප්‍රසන්නගේ අතිනුයි. මේ අවස්ථා දෙකේ දී ම පන්දු යවන්නා ලසිත් මාලිංග වූ අතර සෆ්රාස් පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේ නොදැවී ලකුණු 61ක් ලබා ගනිමින්. එමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පාකිස්තානය ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දක්වා ගමන් කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය උඩපන්දු 56 අතුරින් අවස්ථා 11ක දී ම පන්දු යවන්නා ලසිත් මාලිංග වීම විශේෂත්වයක්. සීමිත පන්දුවාර තරග සඳහා පමණක් ක්‍රීඩා කරන මාලිංග ආබාධයකින් පසුව නැවත තරග බිමට පිවිසුණේ ද මෙම ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහායි.

2017 ජුනි – ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය:

ගාල්ල (සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 6ක ජයක්)

ගිලිහුණු උඩපන්දු 56ක ලැයිස්තුවේ වැඩිම වාර ගණනක් නම සඳහන් දෙදෙනා වන්නේ උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලකයි. ඔවුන් අතින් උඩපන්දු 5 බැගින් ගිලිහී ගොස් ඇති අතර ධනුෂ්කගේ ගිලිහී යාම් අතුරින් වඩාත්ම තීරණාත්මක වුනේ සිම්බාබ්වේ කණ්ඩායමේ වාර්තාගත හඹා යාම අතරතුර ලකුණු 13ක් ලබා සිටි ෂෝන් විලියම්ස් ලබා දුන් උඩපන්දුවයි. ලහිරු මධුශංකගේ පන්දුවක් හමුවේ බැක්වර්ඩ් පොයින්ට් කලාපයේ සිටි ධනුෂ්කගෙන් සිදු වූ මෙම වරදින් ප්‍රයෝජන ගත් විලියම්ස් ලකුණු 65ක් රැස් කරමින් සොලමන් මීරේ සමඟ තරග ජයග්‍රහණය සඳහා මග විවර කළ සබන්දතාවකට ද දායක විය.

2017 ජුලි – ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගය

ගාල්ල (ඉන්දියාවට ලකුණු 304ක ජයක්)

පළමු ටෙස්ට් තරගයේ දී ශිකර් ධවාන් ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ස්ලිප් කලාපයට උඩපන්දුවක් ලබා දෙන විට ඔහු රැස්කර ගෙන සිටියේ ලකුණු 31ක් පමණයි. අසේල ගුණරත්නගේ අතින් එම පන්දුව ගිලිහී යාමත් සමඟ ධවාන් ලකුණු 190ක් දක්වා තම ඉනිම ගොඩනැගුවේ පන්දු 168ක් පමණක් වැය කරමිනුයි. එමගින් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත් ඉන්දියානුවන් ලකුණු 304ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ අතර ඉහත කී උත්සාහයේ දී මහපට ඇඟිල්ලේ අස්ථි බිඳීමකට ලක්වුණු අසේලට එම තරගයේ ඉතිරි කොටස මෙන්ම තරගාවලිය ද අහිමි විය.

C1

C2

මෙම ලැයිස්තුව ප්‍රබල ක්‍රිකට්ලෝලියකු වන අකීබ් මොහොමඩ් සහ ඔහුගේ මිතුරන් විසින් සකස් කරන ලද්දකි.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න