ලෝක යොවුන් බොක්සිං කරළියට බසින ලක් කොල්ලන්

279

ලෝක යොවුන් බොක්සිං ශූරතාවය එළඹෙන අගෝස්තු 21 සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී පැවැත්වේ. 8 වැනි තායිපේ ජාත්‍යන්තර යොවුන් බොක්සිං ශූරතාවය ද හෙට (14) සිට පැවැත්වේ. මේ තරගාවලි දෙකට සහභාගී වීමට ලාංකික ගැටයන් තිදෙනෙකු මේ වන විටත් සූදානම් වෙමින් සිටියි.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ දිගුකාලීන වැඩපිළිවෙළ යටතේ කෙමෙන් ඉහළට පැමිණෙන උක්ත බොක්සිං ක්‍රීඩකයන්ගෙන් දෙදෙනෙකුම මධ්‍යම පළාත නියෝජනය කරන්නන් ය. අනෙක් ක්‍රීඩකයා බස්නාහිර පළාත නියෝජනය කරයි. ජාතික මට්ටමේ දැක්වූ දක්ෂතා සහ ජාත්‍යන්තර අත්දැකීම් මත ඔවුන්ව තෝරාගෙන තිබේ.

මින් ලෝක යොවුන් බොක්සිං ශූරතාවය කරා යන පිළිමතලාව ධීරානන්ද විද්‍යාලයේ සංජය බණ්ඩාර, කිලෝග්‍රෑම් 48 බරපන්තියේ අපරාජිත පාසල් ශූරයෙකි. පසුගිය ස්ටබ්ස් පලිහ තරගාවලියේ දී පවා දැකිය හැකි වූ සිදුවීම වන්නේ ඔහුට සටනක් දීමට හැකි, ඔහුගේ වයසේ පාසල් ක්‍රීඩකයෙකු තවමත් මෙරට තුළ නොමැති බවයි. වසර 6කට වඩා ඔහුගේ බරපන්තියේ පාසල් ශූරයා බවට පත්ව ඇති ඔහු පසුගිය ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට ද සහභාගී වූ ක්‍රීඩකයෙකි. පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බොක්සිං ශූරතාවයට පවා සහභාගී වූ ඔහු එහි දී එක් තරගයක් ජය ගත්තේ නොක් අවුට් වශයෙනි. K. K. සුනිල් මහතාගේ පුහුණුකාරීත්වය මත ඔහු ක්‍රීඩා කරයි.

සංජය බණ්ඩාර

එමෙන්ම මේ වසරේ පැවති ස්ටබ්ස් තරගාවලියේ ජයග්‍රාහකයන් වූ කි.ග්‍රෑම් 52 බරපන්තියේ එස්. හේමජිත් (සාන්ත තෝමස් විද්‍යාලය) සහ කි.ග්‍රෑම් 60 බරපන්තියේ සී. ඒකනායක (ධීරානන්ද විද්‍යාලය) තායිපේ හිදී පැවැත්වෙන තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

එස්. හේමජිත්

ඔවුන් දෙදෙනා මේ වන විටත් චීන තායිපේ බලා පිටත්ව තිබේ. K. K. සුනිල්, ඒකනායකට පුහුණුකාරීත්වය ලබා දෙන අතර ධනුෂ්ක ජයමාන්න, හේමජිත්ගේ පුහුණුකරු ය. හේමජිත්, වසර තුනක ජාතික ශූරයායි. ඒකනායක මේ වසරේ ස්ටබ්ස් පලිහ කි.ග්‍රෑම් 52 ශූරයායි.

සී. ඒකනායක (රතු කෝණය)

අගෝස්තු 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඔවුන් තායිපේ නුවර දී ඊට සහභාගී වන අතර ඉන් අනතුරුව ලෝක ශූරතා තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතයි.

ඔවුන් ගැන අදහස් දක්වන ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා පවසන්නේ මෙසේයි.

අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අනුව මට ඔවුන් ගැන ධනාත්මක විශ්වාසයක් තිබෙනවා. නමුත් ඔවුන්ට ලැබෙන තරග මත තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ.”

ලොව දක්ෂතම යොවුන් ක්‍රීඩකයන් සහභාගී වන තරගාවලිවල දී කෙමෙන් ඉදිරියට යෑමට හැකි ආකාරයේ ප්‍රතිවාදීන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබේවායි කරන ප්‍රාර්ථනාවත් සමඟම මෙවන් තරගාවලි යොවුන් ක්‍රීඩකයන්ට ලැබීම ගැන සතුට ද පලකළ යුතුය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හොඳම දක්ෂතාවන් දැක්වීමට හැකිවේවායි ThePapare.com අපගේ ප්‍රාර්ථනයයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<