කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගිය දා නිමා වූ 65 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ දී ජාතික බැඩ්මින්ටන් ශූරිය බවට පත් වීමට තිළිණි හෙන්දහේවා සමත් වූවාය. 2012 වසරේ දී පළමු වරට ජාතික බැඩ්මින්ටන් ශූරිය වූ ඇය 2014 වසරේ සිට මේ දක්වාම අඛණ්ඩව ජාතික බැඩ්මින්ටන් කිරුළ දරන්නීය. මේ ඇය සමඟ ThePapare.Com කළ කතා බහක සටහනකි.
ක්‍රිකට් විනිසුරුවරයෙක් වූ ටී ටේස්ටර් – රැන්මෝ මාටිනස්
හිස් අවකාශයක් හැඩ වෙන්නෙ ඊට මොන මොනවා හෝ එකතු වූ පසුවයි. ජීවිතයත් ඒ වගේ…
තිළිණි ප්‍රමෝදිකා, හෙන්දහේවා පවුලේ බඩ පිස්සි ය. පියා වසන්ත හෙන්දහේවා ආරක්ෂක සේවා විශ්‍රාමිකයෙකි. කරාටේ කළු පටි ශ්‍රේණිධාරියෙකි. මව ජේ. පී. ඊ. ද සිල්වා නිවසේ ක්‍රියාකාරී සාමාජිකාවයි. සියල්ල සිදුවන්නේ ඇයගේ අධීක්ෂණය යටතේ ය. පවුලේ වැඩිමලා රමේෂ් මධුශාන් හෙන්දහේවා ය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු මැක්ලරන්ස් හෝල්ඩිං ආයතනයේ සේවය කරයි.
කොළඹ යසෝදරා විද්‍යාලය තිළිණිගේ බැඩ්මින්ටන් තිඹිරිගෙයයි. ඒ 2004 වසරේ 3 වැනි පංතියේ ශිෂ්‍යාවක ලෙසින් සිටිය දී ය. ඒ වන විට පිහිනුම් ක්‍රීඩිකාවක් ලෙසින් ක්‍රීඩා ලොව ජය ගැනීමට සූදානමින් සිටි තිළිණිගේ ගමන් මග වෙනස් කරනු ලැබුවේ ඇයත් සමඟ සිටි ඉල්මි වරංගනා ද සිල්වා නැමැති යෙහෙළියයි.

යෙහෙළියගේ ආරාධනාවට ගෙදරින් කැමැත්ත ලැබුනත් තිළිණිට බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිසීමට නම් තවත් කඩඉමක් පැනීමට තිබුණි. ඒ යසෝදරාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව භාරව සිටි නිලන්ති ජයසේකර මහත්මියගේ අවසරය ලබා ගැනීමයි. ඇය ජාතික බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චම්පක රාමනායකගේ බිරිඳ ය.
“වෙනත් ක්‍රීඩාවක් කරද්දි තවත් ක්‍රීඩාවකට යන්න හරි අමාරු තත්ත්වයක් එදා යසෝදරාවෙ තිබුණෙ. නමුත් ඉල්මිත් මමත් නිලන්ති මිස් හමුවෙන්න ගියා. ගිහිල්ල විස්තරේ කිව්වා. මිස් එක පාරටම කැමති වුනේ නැහැ. එදා ඇය මම දිහා ටික වෙලාවක් බලා සිටියා. පසුව පණිවුඩයක් එවල තිබුණා බැඩ්මින්ටන් පුහුණුවීම්වලට එන්න කියලා. මගේ බැඩ්මින්ටන් ජීවිතයේ ඉල්මි තරමටම නිලන්ති මිස්ටත් විශේෂ තැනක් හිමි වෙනවා. ඇය තමයි මගේ අම්ම වගේම පාසලේ දී සෙනෙහසින් බලාගත්තේ. ඇය අද ජීවතුන් අතර නැතත් මගේ මේ ගමනේ විශාල කාර්යයක් කළේ ඇය.“ තිළිණි සිහිපත් කළාය.
බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිසිය ද එය අතරමග නතර වනු ඇතැයි පිහිනුම් ක්‍රීඩකයෙක් ද වූ තිළිණිගේ පියා සිතා සිටියේ ලු. නමුත් තිළිණි වඩ වඩාත් බැඩ්මින්ටන් ක්‍රීඩාවට ඇළුම් කරන්නට වන අතර, ඇය ඒ වෙනුවෙන් සුවිශේෂී උනන්දුවක් ද දක්වන්ට වූ බැව් හෙන්දහේවා නිවැසියන්ට වැටහුණි. එය ඇතැම් විට නිලන්ති ජයසේකර ගුරුතුමියගේ සෙනෙහසත්, ඉල්මිගේ යහළුකමත් සහ පුහුණුකරු සමීර කුමාරප්පෙරුමගේ නිසි මග පෙන්වීමත් නිසා වෙන්නට ඇතැයි නිවැසියෝ සිතා ඇයට යන මාර්ගයේ ම යන්නට ඉඩ හසර විවර කළෝය.

තිළිණිත් ඉල්මිත් ක්‍රීඩාව ආරම්භ කර පළමු වසරේ දී ම වයස අවුරුදු 10න් පහළ පළමු කාණ්ඩයේ බාලිකා කණ්ඩායම් ශූරතාව දිනා ගන්නේ ය. එය තිළණිගේ පළමු බැඩ්මින්ටන් ජයග්‍රහණයයි. මෙම ජයග්‍රහණයත් සමග තිළිණිගේ බැඩ්මින්ටන් ලෝකය වඩාත් පුළුල් වන්නීය.
ඒ වන විට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් කොළොම්තොටින් අංක 1 විශාඛාවෝ ය. දැන් තිළිණිගේ අභිප්‍රාය ද විශාඛාවක වීම ය. ඒ අතරේ ඉල්මි ද යසෝදරාවෙන් ඉවත්ව විශාඛා විද්‍යාලයට යන්නී ය. මේ හේතුව ද තවත් හේතුවක් වෙමින් තිළිණි ද ඉතාම කෙටි කාලයකින් විශාඛාවක වන්නී ය.
“මම 10 වසරෙ දී යසෝදරාවෙන් අයින් වෙලා විශාඛාවට යනවා. ඒ 2011 වසර. එම අවුරුද්දේ පැවති ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ දී මම ෆයිනල් තේරෙනවා. එම තරගයේ දී අචිනි රත්නසිරිට පරාජය වෙලා මම අනුශූරිය වෙනවා. “
විශාඛාවක ලෙසින් ගත කරන දෙවැනි අවුරුද්දේ දී තිළිණි ජාතික බැඩ්මින්ටන් ශූරිය ලෙසින් පළමුවරට අභිශේක ලැබීමට සමත් වූවාය. එම අවසන් තරගයේ දී ඇය වෙතින් පරාජය වන්නේ ලේඛා ෂෙහානි ය.
තම හොඳම යෙහෙළියගේ ආරාධනාවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිසි ඇය අද ජාතික බැඩ්මින්ටන් ශූරියයි. මෙවර ඇය මෙකී ශූරතාවට හිමිකම් කියන්නී 5 වැනි වතාවට ය. මෙවර තරගාවලියේ දී විවෘත කාන්තා ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ හසිනි අම්බලන්ගොඩගේට එරෙහිව ඉතාම ලෙහෙසියෙන් වට 2-0ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි. තිළිණි අර්ධ අවසන් පූර්ව වටයේ දී අචිනි රත්නසිරි පරාජය කරමින් ද අවසන් පූර්ව වටයේ දී කාවින්දි සිරිමාන්න පරාජය කරමින් ද අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා ය.
“මේ ඉසව්වේ ඉතා හොඳ තරගකාරීත්වයක් තිබෙනවා. පහසුවෙන් පරාජය කරමින් ඉදිරියට එන්න අපහසුයි. හසිනි තවමත් පාසල් ශිෂ්‍යාවක්. ඇය පළමු සහ අවසන් වටවල දී ඉතාම දක්ෂ ක්‍රීඩිකාවන් පරාජය කරලයි අවසන් තරගයට පැමිණියේ. සාමාන්‍ය ලකුණු පරතරයකින් අවසන් තරගය මට ජයග්‍රහණය කිරීමට හැකි වූවත් ඇය ඉතා හොඳ තරගයක් දුන්නා.“
තිළිණි මෙම තරගාවලියේ දී ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සමත් වූවා ය. විවෘත කාන්තා ශූරතාවට අමතරව ඇය විවෘත කාන්තා යුගල ඉසව්වේ දී කාවින්දි ඉෂාදිකා එක්ව තරග වට 2-0කින් අචිනි රත්නසිරි සහ හසිනි අම්බලන්ගොඩගේ පරාජය කළාය. මිශ්‍ර යුගල ඉසව්වේ දී සචින් ඩයස් සමඟ එක්වෙමින් 2-0ක් ලෙසින් විබවි මධූෂ සහ උපුලි සමන්තිකා පරාජය කිරීමට සමත් වූවාය.

“ජාත්‍යන්තර තරගවල දී අපිට විශාල තරගකාරීත්වයක් තිබෙනවා. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජය ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනෙක් ඉන්නේ අපේ කලාපයේ. ඉතිං ඔවුන් සමඟ තරග කිරීම ඉතාම වෙහෙසකරයි. අනිත් එක ඔවුන් සතුව පවතින පහසුකම් සහ තාක්ෂණික ඥානයන් සුවිශේෂයි. අපිට තවමත් එවැනි තත්ත්වයකට ළඟා වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ වුනත් රටක් ලෙසින් අපිත් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යම් යම් ඉසව් ජයග්‍රහණය කිරීමේ හැකියාවෙන් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතයි. ජාත්‍යන්තරය හා සැසැදීමේ දී ඒක සුවිශේෂී ජයග්‍රහණයක්.“ තිළිණි පැවසුවාය.
ඉතා වෙහෙසකාරි ක්‍රීඩාවක නිරත වූවත් තිළිණි අධ්‍යාපනය ද ජය ගත්තාය. අද ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය හදාරන්නීය. ඒ අතරේ ලැබෙන විවේකයේ දී ඇය ගීත ඇසීමටත් චිත්‍රපට නැරඹීමට වඩාත් රුචි බවක් පවසයි. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත්, ක්‍රීඩා පුහුණුවීම් සමඟත් කෙරෙන කාල හරඹය හේතුවෙන් වඩාත් කාර්ය බහුල වී සිටීම අන් දේවල් කෙරෙහි යොමු වීම අවහිර වී ඇත.

තිළිණිගේ මේ ඉලක්ක ගත අනාගත බලාපොරොත්තුව එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි. ඊට අමතරව 2020 ඔලිම්පික් උළෙලයි.
“පළමුව තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය. එම තරගාවලිය ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් කරනවා. විශ්වාසයක් තිබෙනවා අපිට මේ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම ඊට පසුව ඔලිම්පික්. ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ ලොකුම සිහිනය ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කිරීම. ඒක හැබෑ කරගන්න ඕන. ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දරන්න සිදුවේවි. මම ඉන්නෙ ඒ බලාපොරොත්තුවේ. ඒ නිසා වෙනත් කිසිවක් නෙවේ, ඒ වෙනුවෙන්ම මේ කාලය කැප කරනවා. “
ඇයගේ එම බලාපොරොත්තු සඵල වේවායි ThePapare.Com ප්‍රාර්ථනා කරන ගමන් තිළිණිගේත් ඉල්මිගේත් යාළුකමට කුමක් වී දැයි අපි අවසානයට විමසීමු.
“අපි තවමත් හොඳ යාළුවෝ. අපි දෙන්න අදටත් එකට වෙළඳසේවා තරග සෙල්ලම් කරනවා. ඒ මැක්ලරන්ස් හෝල්ඩිං සමාගම නියෝජනය කරමින්. ඇත්තටම ඉල්මි හොඳ යාළුවෙක්. ඉල්මි තමයි මට මේ පාර පෙන්නුවේ. එයා අතරමග දී මේ පාරෙන් හැරිල ගියත් මගේ ගමනේ දී ඉතාම හොඳ මඟ පෙන්වන්නියක්, යහපත් දැනමුතුකම් දෙන්නියක් වුනා. අදටත් මගේ ක්‍රීඩා විලාශයේ යම් හෝ වෙනසක් සිදු වුණොත් ඒක පෙන්වල දෙන්නෙ ඉල්මි. ඇය ඒ තරමටම මගේ ගමනේ කොටස්කාරියක්. ඒ විතරක් නෙමේ ඇයත් ඇයගේ පවුලේ සියලු දෙනාමත් අපේ පවුලේ අයත් හොඳ මිතුරන්.“
මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යති…
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















