බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් දැඩි ලෙසින්ම බාධාවන් එල්ල වූ අතර ඒ හේතුවෙන්ම පළමු දිනය නතර වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන කොදෙව්වෝ කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා සිටිය හ.
තෙවන ටෙස්ට් තරගයේ නායකත්වය සුරංග ලක්මාල්ට
බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) බාබඩෝස් හිදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක්…
බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දිනයේ නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් අහිමි විය. වර්ෂාව අකාරුණික වූවද මෙම ටෙස්ට් තරගය කොදෙව්වන්ට සුවිශේෂී තරගයක් වෙන්නේ ය. ඒ 1928 ජුනි 23 වැනිදා ලෝකයේ ටෙස්ට් වරම් දිනා ගත් සිව්වැනි කණ්ඩායම බවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව්වෝ තම වසර 90 සැමරීමත් සහ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ක්‍රීඩා කරන තම පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගයත් මෙය වීමයි.
ඊයේ (23) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ දී ඇරඹි මෙම තරගයේ දී 31 වියැති සුරංග ලක්මාල් ශ්‍රී ලංකාවේ 16 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසින් අභිශේක ලැබුවේය. තම 47 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ලක්මාල් ටෙස්ට් වරම් දිනා ගන්නේ ද බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ය. ඒ 2010 වසරේ ජුනි මාසයේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ වෙනස්කම් දෙකක් සහිතව ය. දෙවැනි තරගයේ දී ආන්දෝලනාත්මක චරිතයක් වූ නායක දිනේෂ් චන්දිමාල්ට පැනවූ තරග තහනම හේතුවෙන් ඔහු වෙනුවට ධනුෂ්ක ගුණතිලක නම් කර තිබූ අතර පෙර තරගයේ දඟපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමේ සිටි අකිල ධනංජය වෙනුවට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි.
තරගාවලියේ 1-0ක් සේ ඉදිරියෙන් සිටින සත්කාරක ක්‍රීඩකයෝ පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිදු වෙනසක් නොමැති මෙම තරගයට ද නම් කර තිබුණි.
අභියාචනාව විසි වේ; චන්දිමාල්ට තෙවැනි තරගයට දොර වැසේ
දිනේෂ් චන්දිමාල් විසින් යොමු කළ අභියාචනාව පරාජය වීම නිසා ඔහු හට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්…
මේ සියලු කරුණු කාරණා හමුවේ දෙපිලේ නායකයන් කාසියේ වාසිය උරගා බැලීමට කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයට පිවිසියේ තරමක මන්දගාමී ආලෝක තත්ත්වයක් තිබිය දී ය. තරගය විනාඩි 25ක පමාවකින් ආරම්භ වූයේ කොදෙව්වෝ දිනූ කාසියේ වාසිය තම කණ්ඩායම වෙතම රඳවා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගනිමිනි. ඒ අනුව ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සහ ඩෙවොන් ස්මිත් ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසිය හ.
නව පන්දුව බාර ගත් ශ්‍රී ලංකා නව නායකයා තරගයේ ආරම්භක පන්දුවාරයේ දී සාර්ථක ඵල නෙළා ගැනීමට සමත් විය. ඒ ආරම්භක පිතිකරු ඩෙවොන් ස්මිත් දවා ගනිමිනි. එම දවා ගැනීම වෙනුවෙන් තෙවැනි ස්ලිප් ස්ථානයේ සිටි ධනංජය ද සිල්වා කදිම උඩ පන්දුවක් රැක ගත්තේය. ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 3කි.
කොදෙව් කණ්ඩායමේ දෙවැනි කඩුල්ලට එක් වුණේ කිරන් පවෙල් ය. ඔහු හා බ්‍රැත්වෙයිට් අතර පැවති කඩුලු සබඳතාව බිඳ දැමීමට නැවත ක්‍රියාත්මක වූයේ ලක්මාල් ය. දෙවැනි ස්ලිප් හී සිටි ධනුෂ්ක ගුණතිලක ඉතා විශිෂ්ට උඩ පන්දුවක් රැක ගනිමින් මේ දවා ගැනීමට උපකාර කළේය. ප්‍රතිවාදීන්ට මතභේදාත්මක රැක ගැනීමක් වුවද එය සම්පූර්ණයෙන්ම පන්දු රකින්නාගේ දක්ෂතාව මතම වූ දැවී යෑමක් විය. ඒ අනුව බ්‍රැත්වෙයිට්ගේ ඉනිම ලකුණු 2කට සීමා විය.
ඉන් අනතුරුව යැවුණ පන්දුවාරයේ දී ලහිරු කුමාර ද කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවට එක්වූවේ ය. ඒ කිරන් පවෙල් ලකුණු 4කට සීමා කරමින් ක්‍රීඩාගාරයට යැවීමට සමත් වීම නිසා ය. එම අවස්ථාවේ දී ගුණතිලකට නොදෙවෙනි උඩ පන්දුවක් රැක ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් විය.
කොදෙව් ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 10ක් ව තිබූ ඉතා අසීරු අවස්ථාවේ දී ක්‍රීඩාංගණයට ඇද හැළුණ වර්ෂාව තරගය නතර කිරීමට තරම් දරුණු විය. මේ වර්ෂාව තරගයේ තරග කළ යුතු කාලයෙන් පැයක පමණ කාලයක් විනාශ කර දැමීය.
ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනාගෙන් අනතුරුව පන්දු යැවීමට කැඳවූ කසුන් රාජිත තම පළමු පන්දුවාරයේ දී ම රොස්ටන් චේස් (14) දවා ගැනීමට සමත් විය. පිත්තත් පා ආවරණයත් අතරින් කඩුල්ල සොයා ගිය පන්දුව කොදෙව් ඉනිමේ සිව්වැනි කඩුල්ල අහිමි කළේ ලකුණු 24ක් තිබිය දී ය.
තරගයේ පළමු සැසිය අවසන් වූයේ කොදෙව් ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 46ක් ව තිබිය දී ය. ඒ වෙද්දී ෂායි හෝප් (11) සහ ෂේන් ඩොව්රිච් (13) පිටියේ නොදැවී රැඳී සිටිය හ.
පළමු සැසියෙන් අනතුරුව යැවුණ තුන් වැනි පන්දුවාරයේ දී නැවත කොදෙව්වෝ අසරණ කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එවරත් ක්‍රියාත්මක වූයේ කසුන් ය. නැවත වරක් දක්ෂ පන්දු රැකීමක නිරත වූ මෙන්ඩිස් හොප් (11) ගේ ඉනිම නිමා කිරීමට දායක විය.
කොදෙව් ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 86ක් ව තිබිය දී නැවත වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන්නට යෙදුණි. ඒ වෙද්දී පන්දුවාර 33.3ක් යවා තිබූ අතර කොදෙව් ඉනිම ගොඩ ගනිමින් සිටි ඩොව්රිච් පන්දු 60කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 36ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් නායක ජේසන් හෝල්ඩර් ලකුණු 18ක් ලබා නොදැවී සිටිය හ.
එවර පැය දෙකකට වැඩි කාලයක් තරගය නතර වී තිබූ අතර කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව තරගය ආරම්භ වූයේ ෂේන් ඩව්රිච්ගේ තම හත් වැනි ටෙස්ට් අර්ධ ශතකය සේ ම කොදෙව් නැගී සිටීම ද එක් එක්ව සිදු වෙමිනි.
චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ චෝදනා පිළිගනී
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු…
කොදෙව් ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 132ක් තිබිය දී නැවත ක්‍රීඩාංගණයට කඩා පාත් වූ වර්ෂාව තරගය පළමු දිනයට නිමා කිරීමට තරම් දරුණු විය. ඒ වෙද්දී ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට ඇණයක් වෙමින් සිටි ඩොව්රිච් පන්දු 101කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 60ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් අලංකාර වී තිබුණි. නායකයෙක් ලෙසින් තම කඩා වැටෙන ඉනිම ගොඩ නැගීමට අපූරු දායකත්වයක් ලබා දුන් හෝල්ඩර් පන්දු 70කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියේය.
ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලේ නොබිඳිනු ලකුණු සබඳතාව 79කි.
පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් බෙදා ගත් අතර ලහිරු කුමාරට එක් කඩුල්ලක් හිමි වුණි.
තරගය දෙවැනි දිනටත් ක්‍රියාත්මක ය.
බටහිර ඉන්දීය කොදෙව්; කඩලු 5ක් දැවී 132 (46.3): ෂේන් ඩොව්රිච් නොදැවී 60, ජේසන් හෝල්ඩර් නොදැවී 33, සුරංග ලක්මාල් 2/42, කසුන් රාජිත 2/36
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<