ඕස්ට්‍රේලියාව වාර්තා බිඳ දමමින් සුපිරි ජයක් ලබයි

377

හරියටම මීට දින 8 කට පෙර ලොව සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග වර්ග වල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තා පැවතුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නමිනුයි. නමුත් මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ ටෙස්ට් තරග වාර්තාව පමණයි. පසුගිය අඟහරුවාදා එංගලන්ත කණ්ඩායම පාකිස්තානය සමග පැවති තරගයකදී ශ්‍රී ලංකාව සතුව තිබු එක්දින ඉනිමක වැඩිම ලකුණු වාර්තාව බිඳ හෙලූ බව මෙරට ක්‍රීඩා ලෝලීන්ට එතරම් සන්නිවේදනය වූ කරුණක් නොවීය. නමුත් ඕස්ට්‍රේලියානුවන් T – 20 තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව උදුරා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අතින්ම වීම විශේෂත්වයක්.

පසුගිය ලිපි: ශතකයක් සමගින් ජය BMS කණ්ඩායමට

මෙම වාර්තාව ඉන්දියන් සාගර කලාපයෙන් පැසිෆික් සාගර කලාපයට ගෙනයන්නට මූලිකත්වය ගත්තේ එක්දින කණ්ඩායමට ඇතුලත් වීමට පවා ඉඩක් සොයාගත නොහැකිව සිට පසුගියදා ඕස්ට්‍රේලියානු T – 20 සංචිතය සමගින් එක්ව, ඒරන් ෆින්ච් ආබාධයකට ලක්වීම හේතුවෙන් ආරම්භක පිතිකරණ ස්ථානයට උසස්වීමක් ලැබූ ග්ලේන් මැක්ස්වෙල් විසිනුයි.

තරග 9කදී 8 වන වරටත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවූ අතර එකම වෙනස වූයේ මෙවර ඔවුන් පන්දු යැවීමට තීරණය කිරීමයි. චන්දිමාල්ගේ ආරාධනය අනුව මැක්ස්වෙල් සමගින් ඉනිම ආරම්භ කල නායක ඩේවිඩ් වෝනර් ලකුණු 28ක් රැස් කරන ලදී. 5 වන පන්දුවාරයේදී වෝනර් දැවීයාමත්, 6 වන පන්දුවාරයෙන් පන්දු රකින්නන් ස්ථානගත කිරීමේ සීමා ඉවත් වීමත් සමග ඕස්ට්‍රේලියානු ලකුණු වේගය අඩුවෙතැයි කිසිවෙක් බලාපොරොත්තු වූවානම් සිදුවුයේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියකි.

 Photos: Sri Lanka vs Australia – 1st T20I 

පවර්ප්ලේ පන්දුවාර 6 අවසන් වීමත් සමග ඕස්ට්‍රේලියානු ලකුණු වේගය අහස උසට වර්ධනය වූයේ මැක්ස්වෙල්ගේ පිතිකරණ සංදර්ශනයේ ආනුභාවයෙනුයි. උස්මාන් කවාජා සමග මැක්ස්වෙල් 2වන කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් ගොඩනැගූ අතර ඊට කවාජාගේ දායකත්වය ලැබුනේ ලකුණු 36කින් පමණයි.

තම පළමු සහ එකම එක්දින ජාත්‍යන්තර ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව ලබා සිටි ග්ලේන් මැක්ස්වෙල් තම මංගල T – 20 ශතකයේ ප්‍රතිවාදීන් ලෙස තෝරාගෙන තිබුනේද ශ්‍රී ලංකාවමයි. ඇතැම් හොඳ පන්දු පවා හතරේ සීමාවෙන් එපිටට යොමු කල ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිතර ලබා දුන් දුර්වල පන්දු වලට කිසිදු අනුකම්පාවක් දැක්වූයේ නැත. මැක්ස්වෙල් පන්දු 65 කින් ලකුණු 145ක් නොදැවී ලබා ගත්තේ T – 20 ඉතිහාසයේ දෙවන ඉහලම ලකුණු සංඛ්‍යාවේ හිමිකරු බවට පත්වෙමින්.

තම කණ්ඩායම් සගයෙක් වන ඒරන් ෆින්ච් ලකුණු 156ක් ලබාගෙන පිහිටුවා ඇති වාර්තාව අභිබවා යාම පසෙක තැබූ මැක්ස්වෙල් ට්‍රැවිස් හෙඩ් හට අවසන් පන්දුවාර කිහිපය භාරදුන්නේ වඩාත් වටිනා වාර්තාවක් බිඳ දැමීමේ අභියෝගයද සමගින්. එම අභියෝගය මනාව ඉටු කළ හෙඩ් ශ්‍රී ලංකාව සතුව වසර 9ක් පැවතුනු T – 20 ඉනිමක ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමට සමත් විය. අවසන් පන්දු 12න් 9කට මුහුණ දුන් හෙඩ් එහිදී ලකුණු 28ක් ලබා ගෙන අවසන් පන්දුවෙන් දැවී ගියේ, ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 තුල කඩුලු 3කට ලකුණු 263ක් දක්වා ඔසවා තබමිනුයි.

මේ අනුව බිඳ වැටුනේ 2007 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජොහැන්නස්බර්ග් හීදී කෙන්යාවට එරෙහිව පන්දුවාර 20ක් තුල කඩුලු 6කට ලකුණු 260ක් ලබාගෙන පිහිටුවා තිබූ වාර්තාවයි. ට්‍රැවිස් හෙඩ් පන්දු 18කින් ලකුණු 45ක් රැස් කරන ලදී. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුලත් විය. ශ්‍රී ලංකා ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනාම පන්දුවාරයකට ලකුණු 12.75කටත් වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාදීම කැපී පෙනුනි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තුල කිසුදු අවස්තාවකදී ඔවු ලකුණු 264ක ඉලක්කය සපුරා ගැනීමට හැකි තත්ත්වයක සිටින බවක් නොපෙනුණි. ස්ටාක්ගේ සුපුරුදු පළමු පන්දුවාරයේ කඩුල්ල ලෙස මෙවර දැවී ගියේ දිල්ශානුයි. කුසල් ජනිත් ද ලකුණු 4කට දැවී ගිය අතර ධනංජය දැවී ගියේ ජේම්ස් ෆෝල්ක්නර්ගේ පන්දුවක් හමුවේයි.

කුසල් මෙන්ඩිස් දර්ශනීය පහර කිහිපයක් එල්ල කිරීමෙන් පසු ලබාගත යුතු දල ලකුණු වේගය වැඩිවීමේ පීඩනයට ගොදුරු විය. නායක චන්දිමාල් සහ චාමර කපුගෙදර එක්ව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාව ගොඩනැගූ නමුත් ජයග්‍රහණයක් පිලිබඳ සිතන්නටවත් එය ප්‍රමාණවත් නොවුනි. චන්දිමාල් ලකුණු 58ක් රැස් කරද්දී කපුගෙදර පන්දු 25කදි ලකුණු 43ක් ලබාගන්නට සමත් විය.

ස්ටාක් සහ බෝලන්ඩ් කඩුලු 3 බැගින් දවා ගනිද්දී ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9ක් දැවී ලකුණු 178කට සීමා විය. ඒ අනුව ඕස්ට්‍රේලියානුවන් මේ තරගය ලකුණු 85කින් ජයගත්තේ තරගාවලිය තුල අබිභාවාලිය නොහැකි පරිද්දෙන් තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගනිමිනුයි. ග්ලේන් මැක්ස්වෙල්  තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගන්නා ලදී.

දෙරට අතර දෙවන සහ අවසන් T20 තරගය ලබන සිකුරාදා (9) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට