සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් සමඟ පුහුණු තරඟ දෙකකට සහභාගි වීමට නියමිතය.එහි දෙවන හා අවසන් තරඟය අද (13) එංගලන්තයේ ලෙස්ටර්ශයර් හිදී ලෙයික්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ විය.මෙම තරඟය 15 වනදා දක්වා තුන් දින තරඟයක් ලෙස පැවැත්වේ.

තරගයේ ජය පරාජය වර්ෂාව තීරණය කරයි

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් සාර්ථක ආරම්භක සබඳතාවක් ගොඩනැගීමට නොහැකි විය.දිමුත් කරුණාරත්න ලකුණු නොලබාම දැවී යන ලදි. අනතුරුව පිටියේ එක් වූ කෞෂාල් සිල්වා හා කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ල සඳහා ලකුණු 101 ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. කෞෂාල් සිල්වා  4 පහරවල් 4 ක් සමඟ ලකුණු 38 ක්ද,යළිත් සාර්ථක වූ කුසල් මෙන්ඩිස් පන්දු 114 කදී 4 පහරවල් 7 ක් සමඟ ලකුණු 65, නායක දිනේෂ් චන්දිමාල් 4 පහරවල් 3 ක් සමඟ ලකුණු 30 ක් ලබා ගන්නා ලදි. ළහිරු තිරිමාන්න ලකුණු 6 කට ද මිලින්ද සිරිවර්ධන ලකුණු 8 කට ද පිටියෙන් හරවා යැවීමට ලෙයික්ස් පන්දු යවන්නන්ට හැකි විය.ලකුණු 173 කට කඩුලු 6 ක් දැවී තිබියදී පිටියට පැමිණි නිර‍ෝෂන් දික්වැල්ල ලකුණු 19 ක් ලබාගැනීමට සමත් විය.දුෂ්මන්ත චමීර 8 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවතට යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 192 කට කඩුලු 8 ක් ලෙස දිස්විය.අනතුරුව පිටියට පැමිණි රංගන හේරත් හා දසුන් ශානක 9 වන කඩුල්ල සඳහා ලකුණු 126 ක නොබිදුනු දැවැන්ත සබඳතාවක් දිනය නිමාවන විට නංවා තිබිණි.

පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 90 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටින ලදි.නොදැවී ක්‍රීඩා කරන දසුන් ශානක පන්දු 115 කදී 4 පහරවල් 9 ක් හා 6 පහරවල් 3 ක් සමඟ ලකුණු 91 ක් හා  එයට අනගි සහයක් ලබා දුන් රංගන හේරත් 4 පහරවල් 3 ක් සමඟ නොදැවී ලකුණු  28 ක් ලබා සිටින ලදි.

පන්දු යැවීමේදී ලෙයික්ස් කණ්ඩායම වෙනුවෙන් කුමාර් නයික් ලකුණු 61 කට කඩුලු 2 ක් හා ජෝන් සේයර් ලකුණු 41 කට කඩුලු 2 ක දවාලීමට සමත් විය.

අද (14) තරඟයේ දෙවන දිනයයි.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්