ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩයේ තරඟයක් අද (20) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර ඉන්දියාවේ මොහාලි හීදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

ප්‍රථමයෙන් පිටියට පිවිසි චමරි ජයංගනී හා යශෝධා මෙන්ඩිස් ලකුණු 45 ක සබඳතාවක් ගොඩනැගු අතර ප්‍රථම කඩුල්ල ලෙස යශෝධා මෙන්ඩිස් පන්දු 12 කදී ලකුණු 9 ක් ලබා දැවී යන ලදි. දෙවන කඩුල්ල ලෙස චමරි ජයංගනී පන්දු 22 කදී 4 පහරවල් 7 ක් සමඟින් ලකුණු 34 ක් ලබා සිටියදී දැවී යන ලදි. 3 වන කඩුල්ල ලෙස පන්දු 5 කදී ලකුණු 6 ක් ලබා සිටි ඩිලානි සුරංගිකා දැවී යන ලදි. 4 වන කඩුල්ල ලෙස උදේශිකා රණසිංහ පන්දු 3 කදී එක් ලකුණකට දැවී යන විට ලකුණු 57 කට කඩුළු 4 ක් ලෙස ලකුණු පුවරුව දැක්විණි. අනතුරුව පිටියට පිවිසි හර්ෂිකා මාධවී ටද සාර්ථක වීමට හැකිවුයේ නැත. ඇය ලකුණු නොලබා දැවී යන ලදි. අනතුරුව 6 වන කඩුල්ල සඳහා එෂානි කෞෂල්‍යා හා මහේෂිකා වීරක්කොඩි ලකුණු 49 ක සාර්ථක සබඳතාවක් ගොඩනංවන ලදි. 6 වන කඩුල්ල ලෙස පන්දු 42 කදී 4 පහරවල් 2 ක් සමඟින් ලකුණු 32 ක් ලබා සිටි මහේෂිකා වීරක්කොඩි දැවී යන ලදි. කෙසේ වෙතත් පන්දුවාර  20 අවසානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවුයේ කඩුළු 7 ක් දැවී ලකුණු 129 ක් පමණි. නොදැවී ක්‍රීඩා කල එෂානි කෞෂල්‍යා පන්දු 28 කදී 4 පහරවල් 2 ක් සමඟින් ලකුණු 35ක් රැස් කරගත් අතර උදේශිකා ප්‍රබෝධනී නොදැවී පන්දු 2 කදී එක් ලකුණක්ද ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් කියාරා මෙට්කාල්ෆ් පන්දුවාර 4 කදී ලකුණු 15 කට කඩුළු 4 ක්ද, ලුකී කැතරින් පන්දුවාර 4 කදී ලකුණු 25 කට එක් කඩුල්ලක්ද ලෙස දක්ෂතා දක්වන ලදි.

ලකුණු 130 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කාන්තා ආරම්භක පිතිකරු දෙපල ඇල්සි ශිල්ටන් එක් ලකුණකට ද, මේරි ජොයිස් පන්දු 30 කදී ලකුණු 29 කට ද දැවී යන ලදි. 3 වන කඩුල්ල ලෙස ක්ලෙයාරා ඩාල්ටන් ලකුණු 5 කට දැවී යන ලදි. එවිට අයර්ලන්ත කාන්තා කණ්ඩායමේ ලකුණු පුවරුව 40 ට කඩුළු 3 ක් ලෙස සටහන් විය. අනතුරුව ලකුණු 47 ක සබඳතාවක් ගොඩනැගු ඩේව් ජොයිස් පන්දු 28 කදී 4 පහරවල් 2 ක් සමඟ ලකුණු 29 ක් ද, ලවුරා ඩිලෙනි පන්දු 24 කදී 4 පහරවල් 2 ක් සමඟ ලකුණු 29 ක් ද රැස් කර ගන්නා ලදි. එම දෙපල දැවී යනවිට ලකුණු 93 ට කඩුළු 5 ක් ලෙස සටහන් විය. හොලිස් ලෙවිස් ලකුණු 4කටද, ජෙනිෆර් ග්‍රාත් ලකුණු 11 ක් ද, ලබා ගන්නා ලදි. එවිට ලකුණු 102 කඩුළු 7 ක් ලෙස සටහන් විය. අනතුරුව ලකුණු 13 ක සබඳතාවක් ගොඩනැගුණු අතර එය ලකුණු 115 වන විට දවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. නොදැවී ක්‍රීඩා කල අමී කිනලි ලකුණු 4 ක් ලබා ගන්නා ලදි. කෙසේ වෙතත් පන්දුවාර 20 අවසානයේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ කඩුළු 8 ක් දැවී ලකුණු 115 ක් පමණි. ඒත් සමඟම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරඟය ලකුණු 14 කින් ජයග්‍රහණය කල අතර, පන්දු  යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුගන්ධිකා කුමාරි පන්දුවාර 4 කදී ලකුණු 24 ට කඩුළු 3 ක්ද, ඉනෝකා රණවීර පන්දුවාර 4 කදී ලකුණු 22 කට එක් කඩුල්ලක්ද දවාලමින් තරඟය ජයග්‍රහණයට මඟ විවර කරන ලදි.

තරඟයේ වීරවරිය ලෙස චමරි ජයංගනී සම්මාන දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන මීළඟ තරඟය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලබන 24 වන බ්‍රහස්පතින්දා දිල්ලි හිදී පැවැත්වීමට නියමිතය