තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාව ඉලක්කයට ලඟා වෙයි

268
Sri Lanka v Bangladesh 1st Test day 4

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින 4ක් ගතවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 457ක දැවැන්ත ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 67ක් ලබාගෙන සිටියි. අද (10) ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංගගේ පිත්තෙන් වාර්තා වුනු අනර්ඝ ශතකයෙන් සවිමත් වුනු ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී ලකුණු 274ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය.

ඊයේ දිනයේ තේ විවේකයෙන් පසු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අද තරගය මදක් කල් වේලා ඇතිව ආරම්භ විය. ඒ වනවිටත් ප්‍රථම ඉනිමේ ලකුණු 182ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ උපුල් තරංගයි. ඔවුන් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවයක් පැවැත්වූයේ තරමක් පරීක්ෂාකාරී වෙමිනි. නමුත් දිමුත් ලකුණු 32ක් ලබා සිටියදී එල්ල කල පුල් පහර වේගයෙන් ඉදිරියට දුව ආ මහමුදුල්ලාහ් රැක ගැනීමත් සමග ඔහුගේ ඉනිම නිමාවට පත්විය.

ප්‍රථම ඉනිමේ ශතකලාභී යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද දිවා විවේකයෙන් අනතුරුව අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් උපුල් තරංගට තරමක සහයක් දැක්වූවත් ස්ක්වෙයාර්-ලෙග් හි සිටි පන්දු රකින්නා රැකගත් උඩපන්දුව නිසා ලකුණු 19කට දැවී යාමට සිදුවිය. ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග අතරේ ලකුණු 64ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුණු අතර ඒ අතරතුරේදී උපුල් තරංගගේ තෙවැනි ටෙස්ට් ශතකය ද වාර්තා විය. හතරේ පහර 11කින් සහ හයේ පහර 2කින් සවිබල ගැන්වුණු ඔහුගේ ශතකය ශ්‍රී ලංකාව තුලදී ඔහු රැස්කල ප්‍රථම ශතකය බවට පත්විය.

කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ දී හොඳින් ලකුණු අතරට පිවිසි අසේල ගුණරත්න දෙවැනි ඉනිමේදී ලකුණු නොලබාම දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ද ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ දැරීමේදී තම කඩුල්ල අහිමි කර ගත්තේය. ශ්‍රී ලංකාවට ඉක්මන් ලකුණු කිහිපයක් අවශ්‍ය වූ මොහොතේ පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා තම කණ්ඩායම ඉල්ලා සිටි දේ නොපිරිහෙලා ඉටු කරමින් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ප්‍රවේගකාරී ලකුණු 33ක් රැස් කළේය. ඒ අනුව කඩුලු 6කට ලකුණු 274ක් රැස්කල ශ්‍රී ලංකාව, දිනේෂ් චන්දිමාල් තම අර්ධ ශතකය වාර්තා කිරීමත් සමග ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය. බංග්ලාදේශ පන්දු රකින්නන් අද දිමුත් කරුණාරත්න ලකුණු 7දී සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 11දි ලබා දුන් උඩපන්දු බිම අතහැරීම අවසානයේදී ඔවුන්ටම පාරාවළල්ලක් බවට පත්විය.

ලකුණු 457ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ඉදිරියෙන් පසුවූ ශ්‍රී ලංකාව නැවත වරක් පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කල අතර දිනය නිමාවීමට පෙර කඩුල්ලක් දෙකක් දවා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවට පත්විය. නමුත් බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දැක්වූ ස්ථාවර පිතිකරණ රටාව සහ අවසන් පැයේදී ඇද හැලුණු වර්ෂාව නිසා ඔවුන්ගේ එම බලාපොරොත්තුව ඉටු නොවීය. ඉතාමත් පරිණත අන්දමින් තම ඉනිම ගොඩ නැගූ සෞම්‍ය සර්කාර් තම කෙටි ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙස නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. අනෙක් අන්තයේ පන්දුවට පහර දෙන තමීම් ඉක්බාල් ලකුණු 13යි.

මේ වන විට ජයග්‍රහණයට ලකුණු 390ක් පිටුපසින් සිටින බංග්ලාදේශය හෙට දිනයේදී පිතිකරණයේ යෙදෙන අයුරු තරගයේ ප්‍රතිඵලය කෙරෙහි සෘජුවම බලපානු ඇත. කෙසේවෙතත් ගාලු තණතීරුවේ පස්වැනි දිනය වනවිට පන්දුව හොඳින් දඟ කැවෙන නිසා බංග්ලාදේශයට අදාළ ඉලක්කය සපුරා ගැනීම නම් එතරම් පහසු නොවනු ඇත. එහි වාසිය ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම නායක රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් හමුවේ ඇති දැවැන්ත අභියෝගයයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 494 (පන්දුවාර 129.1): කුසල් මෙන්ඩිස් 194, අසේල ගුණරත්න 85, නිරෝෂන් දික්වැල්ල 75, දිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, මෙහෙදි හසන් 4/113, මුස්ටාෆිසූර් රහ්මාන් 2/68, ටස්කින් අහමඩ් 1/77.

බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 312 (පන්දුවාර 46): මුෂ්ෆිකර් රහීම් 85, සෞම්‍ය සර්කාර් 71, තමීම් ඉක්බාල් 57, මෙහෙදි හසන් 41,  දිල්රුවන් පෙරේරා 3/53, රංගන හේරත් 3/72, සුරංග ලක්මාල් 1/42.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 274 (පන්දුවාර 69): උපුල් තරංග 115, දිනේෂ් චන්දිමාල් 50*, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 32, මෙහෙදි හසන් 2/77, ශකීබ් අල් හසන් 2/104.

බංග්ලාදේශ (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 67 (පන්දුවාර 15): සෞම්‍ය සර්කාර් 53*, තමීම් ඉක්බාල් 13*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට