වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වීමට ශ්රී ලංකාවට ඊයේ (19) සිදු වුනා.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස ඉන්දියාව සහ ශ්රී ලංකාව ඊයේ ඩුබායි හිදී තරග බිමට පිවිසුණු අතර, මෙහි දී තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීමට ඉන්දීය නායකයා තීරණය කළා.
ඒ අනුව පන්දුවාර 20කට සීමා වූ තරගයේ පළමු ඉනිම ආරම්භ කිරීම වෙනුවෙන් ශ්රී ලංකා ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසුණු අතර, මෙහි දී ශ්රී ලංකා ඉනිමේ මුල් කඩුලු 3ම ලකුණු 28ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් විසින් සමත් වුනා.
ඉන් පසුව චාමික හීනටිගල සහ නායක විමත් දින්සර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ නමුත්, විමත් ලකුණු 32කට දැවී යාමෙන් අනතුරුව එම සබඳතාව නිමා වුනා. ඉන් පසුව නැවත ශ්රී ලංකා ඉනිම බිඳ වැටීම ආරම්භ වූ අතර, ඉනිමේ හය වැනි කඩුල්ල ලකුණු 84ක් වන විට දැවී ගියා.
ඉන් පසුව චාමික හීනටිගල සමඟ එක් වූ සෙත්මික සෙනෙවිරත්න හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් ගොඩ නැගූ අතර, මෙවර තරගාවලියේ ශ්රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරු චාමික ලකුණු 42කට දැවී යාමත් සමඟ එම සබඳතාව ද බිඳ වැටුණා.
එමෙන්ම ශ්රී ලංකාව වෙනුවෙන් වේගවත් ම ඉනිම දියත් කළ සෙත්මික සෙනෙවිරත්න පන්දු 22කින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අනුව ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 138ක් පමණයි.
ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Henil Patel සහ Kanishk Chouhan කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
තරගයේ පිළිතුරු ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ පළමු කඩුලු ද්විත්වයම ලකුණු 25ක් තුළ දවා ගැනීමට රසිත් නිම්සර විසින් සමත් වුනා. මෙහි දී ඉන්දියාව බොහෝ බලාපොරොත්තු තබා සිටින Vibhav Suryavanshi ද ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 9ක් පමණයි.
කෙසේ වෙතත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ Aaron George ලකුණු 58ක් සහ Vihaan Malhotra ලකුණු 61ක් ලබා ගනිමින් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 114ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.
මේත් සමඟින් ම ඉන්දියාවට තරගයෙන් කඩුලු 08ක ජයක් හිමි වූ අතර, ඒ අනුව ශ්රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වීමට සිදු වුනා.
මේ අතර ඊයේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබූ පාකිස්තානය ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මේ අනුව හෙට (21) ඉන්දියාව සහ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ක්රීඩා කිරීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















