ඉන්දීය පොඩ්ඩෝ සතුටින් තරගාවලිය නිමා කරති

700

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (27) නිමා වූ දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 147ක පහසු ජයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වුනා. පළමු තරගයෙන් ද ඉනිමක සහ ලකුණු 21ක ජයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ තරග දෙකකින් යුත් තරගාවලිය ඉතා ලෙහෙසියෙන් ම ජය ගත්තේ 2-0ක් ලෙසින්.

පසිඳු සහ සොනාල්ගේ ශතක සබඳතාව ඉනිමකින් ගැලවීමට ප්‍රමාණවත් නොවේ

පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ එක්ව ගොඩ නැගූ ශතක සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 316ක් ලබා ගත්ත ද ඉන්දීය…

ඉන්දීය ක්‍රීඩකයෝ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 613ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 316ක් පමණයි. පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිවා විවේකයෙන් පැයකට පමණ පසු තරගය අවසන් වෙද්දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 150ක් පමණයි.

තරගයේ සිව්වැනි සහ අවසාන දිනය උදා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 297ක ඉලක්කයක් පසු පස යන ගමනේ තවත් ලකුණු 250ක් පිටුපස සිටිමිනි. ඒ පෙර දිනයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 47ක් ලබා සිටි නිසා ය. නමුත් දිනය තුළ ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

තරගයේ අවසන් දිනය ආරම්භ වූයේ නුවනිඳු ප්‍රනාන්දු (02) සහ කල්හාර සේනාරත්න (00) සිව්වැනි කඩුල්ලට පිටියට පිවිසෙමින්. පෙර දිනයේ නොදැවී සිටි ඔවුන් දෙදෙනාගේ සහ කණ්ඩායමේ සැමගේම අදහස වන්නට ඇත්තේ ලැබෙන පරාජය අවම කර ගැනීම විය යුතුයි. නමුත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 55ක් වෙද්දී දිනයේ පළමු කඩුල්ල ලෙසින් කල්හාර සේනාරත්න ලකුණු 3කට දැවී ගියා. එය කණ්ඩායම කඩා වැටීමේ පෙර නිමිත්තක් වුනා.

ඔහුගේ දැවී යෑමෙන් පසුව නුවනිඳු සහ පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 21ක් එක් කළා. පළමු ඉනිමේ අර්ධ ශතකයක් ලබා ගත් පසිඳුට මෙම ඉනිමේ ලබා ගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි. 5 වැනි කඩුල්ල ශ්‍රී ලංකා ඉනිමට අහිමි වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ 76ක් ලෙසින්.

මාලින්ද පුෂ්පකුමාරගෙන් යළිත් දක්ෂ පන්දු යැවීමක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම…

අනතුරුව නුවනිඳු සහ සොනාල් දිනූෂ එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 23ක් එක් කළා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් නුවනිඳු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී දැවී ගියා.

දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුනේ කඩුලු 6ක් දැවී ලකුණු 105ක් ලෙසින්. දිවා විවේකයෙන් පසුව ලකුණු පුවරුවට තවත් ලකුණක් පමණක් එක් වෙද්දී දිනූෂ ද ලකුණු 11කට දැවී ගියා.  

පසුපෙළ පිතිකරුවන් අතරින් සාර්ථක පිතිකරු වූයේ සඳුන් මෙන්ඩිස්. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. අනෙක් පිතිකරුවන් අතරින් යාපනය මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායමට එක් වූ විජයකාන්ත් විශ්වකාන්ත් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා. අනෙකුත් පිතිකරුවන් වූ නිපුන් මාලිංග (00) සහ කලණ පෙරේරා (05*) තමන්ගේ ඉනිම් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කර ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ සිද්ධාර්ත් දේශායි ලකුණු 40කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව යටින් මන්ග්වානි සහ අයුෂ් බදෝනි කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 613 (128.5):  අත්‍රව් ටයිඩ් 177, පවන් ශා 282, ආර්යන් ජුවාල් 41, නීල් වේඩර් 64, නිපුන් මාලිංග 1/92

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (114.3): කමිල් මිශාර 44, පසිඳු සූරියබණ්ඩාර 115, සොනාල් දිනූෂ 51, සඳුන් මෙන්ඩිස් 49, මොහොට් ජන්ග්‍රා 4/76, යටින් මාන්ග්වානි 2/30, අයුෂ බදෝනි 2/39, සිද්ධාර්ත් දේශායි 2/84

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 150 (62.2): නිශාන් මධුශ්ක 25, නුවනිඳු ප්‍රනාන්දු 28, සඳුන් මෙන්ඩිස් 26, යටින් මාන්ග්වානි 2/09, සිද්ධාර්ත් දේශායි 4/40, අයුෂ් බදෝනි 2/17

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 30 වැනි දින කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කිරීමට බලාපොරොත්තු වේ. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<