19න් පහළ යෞවනයන්ගේ Karachi රංගනය

Sri Lanka U 19 Cricket Team Tour of Pakistan 2023

1519
Sri Lanka U 19 Cricket Team Tour of Pakistan 2023

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සාර්ථකව නිමා කිරීමට සමත් වෙමින් පසුගියදා නිමා වූවා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය 3-2ක් ලෙසින් ජයග්‍රහණය කරන ලද අතර ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ එක ම තරගය පරාජයට පත් වූවා.

මෙම සියලු තරග Karachi  නුවර ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැතියා.

සංචාරයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම:

සිනෙත් ජයවර්ධන (නායක), මල්ෂ තරුපති (උප නායක) පුලිඳු පෙරේරා, විශේන් හැළඹගේ, රවිශාන් ද සිල්වා, ශාරුජන් ශන්මුගනාදන් (කඩුලු රකින්නා) දිනුර කළුපහන, විහස් තෙව්මික, විශ්ව ලහිරු, ගරුක සංකේත්, කවීෂ පියුමාල, හිරාන් ජයසුන්දර, රුසඳ ගමගේ, මනුල කුලරත්න, රුවිෂාන් පෙරේරා, ගීතික ද සිල්වා.

නිලධාරී මඩුල්ල: ජයන්ත සෙනෙවිරත්න මහතා (කලමනාකරු), ජෙහාන් මුබාරක් මහතා (ප්‍රධාන  පුහුණුකරු), චමිල ගමගේ මහතා (සහාය පුහුණුකරු), ගයාන් විජේකෝන් මහතා (පන්දු රැකීමේ පුහුණුකරු), සම්පත් පෙරේරා මහතා (සහාය පුහුණුකරු), අජන්ත වත්තේගම මහතා (භෞත චිකිත්සක), රන්ජන් සෙනෙවිරත්න මහතා (දත්ත විශ්ලේෂක) ප්‍රදීප් ධර්මසේන මහතා (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිත) සහ බුද්ධික හේරත් (ශාරීරික යෝග්‍යතා පුහුණුකරු)

යොවුන් සිව්දින තරගාවලිය

තරගයකින් සමන්විත මෙම තරගාවලියේ දී පාකිස්තානය ලෙහෙසියෙන් ම සංචාරක ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

Karachi නුවර පැවැති එම තරගයේ දී ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් කඩුලු 9ක් දැවී ලකුණු 433ක් ලබා ගන්නවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර පෙරමුණ ගත්තේ පුලිඳු පෙරේරා. ඔහු ඉනිම 2 දී ම අර්ධ ශතක ලබා ගනිමින් තරගයේ දී ලකුණු 115ක් ලබා ගන්නවා.

ඔහුගේ මෙම ලකුණු සංඛ්‍යාව දෙවැනි වන්නේ පාකිස්තානයේ Shahzaib Khan ලබා ගත් ලකුණු 163ටයි.

ඊට පසුව දක්ෂතා දක්වන්නේ නායක සිනෙත් ජයවර්ධනයි. ඉනිම 2 දී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 90ක්. ඊට දෙවැනි ඉනිමේ දී ලබා ගන්නා ලද අර්ධ ශතකයක් ද ඇතුලත් අතර ඔහුගේ මෙම දක්ෂතාව පිතිකරු ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත් වෙනවා.

අනතුරුව ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව සැකසෙන්නේ හිරාන් ජයසුන්දර (39), මල්ෂ තරුපති (36), විශ්ව ලහිරු (35)ක් සහ රවිශාන් ද සිල්වා (35) ලෙසයි.

පන්දු යැවීමේ දී පළමු ස්ථාන 2 ම පාකිස්තානය සතු වෙන අතර එහි තෙවැනි ස්ථානයට මල්ෂ තරුපති පත් වෙනවා. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3ක්. ඊට පසුව රුවිශාන් පෙරේරා, විශ්ව ලහිරු සහ විහස් තෙව්මික කඩුලු 2 බැගින් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

යොවුන් එක්දින තරගාවලිය

තරගය තරගයේ තීරණය
1 තරගය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 58ක ජයක්.
2 තරගය පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 59ක ජයක්.
3 තරගය පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
4 තරගය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
5 තරගය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 165ක ජයක්.

තරගාවලියේ පිතිකරු දක්ෂතා

මෙම තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක් වූ පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථාන 2 ම හිමි වෙන්නේ පාකිස්තාන ක්‍රීඩකයන්ටයි. එහි පළමු තැන හිමි කර ගැනීමට වමත් ආරම්භක පිතිකරු Shamyl Hussain සමත් වෙනවා. ඔහු තරග 5ක ඉනිම් 5ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 326ක්.

ඔහු තෙවැනි තරගයේ දී පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 150ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ හොඳම ඉනිමයි. ඊට අමතර ව පළමු තරගයේ දී ලකුණු 98ක් ද සහ දෙවැනි තරගයේ දී ලකුණු 53ක් ලබා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

ඊට පසු මෙම ලැයිස්තුවට එක් වෙන්නේ තවත් වමත් පිතිකරුවෙක් වූ Arafat Minhas. ඔහු තරග 5ක ඉනිම් 5ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 272ක් ලබා ගන්නවා.

පුලිඳු පෙරේරා

තරගාවලියේ ඉහළ ම දක්ෂතාව දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන් ම තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතර තෙවැනි අසුන වෙන්කර ගන්නේ 17 වැනි වියේ පසුවෙන වමතින් පිත්ත හසුරුවන පුලිඳු පෙරේරා. ඔහු තරග 3කට සහභාගී වෙමින් ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 239ක්. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක් වෙන්නේ 79.66ක්.

පළමු තරගයේ දී ම ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් සමඟන් ලකුණු 156ක් ලබා ගත්තා. එය තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

රුසඳ ගමගේ

මෙම ලැයිස්තුවේ සිවු වැනියා බවට පත් වෙන්නේ තවත් වමත් පිතිකරුවෙක් වූ රුසඳ ගමගේ. ඔහු තරග 3ක ඉනිම් 3ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 222ක්. ඊට ශතකයක් සහ අර්ධ ශතකයක් එක් කිරීමට ඔහු සමත් වෙනවා.

තමන් සහභාගී වූ පළමු තරගයේ දී ම පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 110ක් ලබා ගැනීමට ද රුසඳ ගමගේ සමත් වෙනවා.

සිනෙත් ජයවර්ධන

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සිනෙත් ජයවර්ධන මෙම ලැයිස්තුවේ 5 වැනි අසුනත් ශ්‍රී ලංකා ලැයිස්තුවේ 3 වැනි අසුනත් වෙන් කර ගන්නවා.  ඔහු ද වමත් පිතිකරුවෙක් වන අතර තරග 5ක ඉනිම් 5ක දී ඔහු ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 151ක්.

අවසන් තරගයේ දී ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 82ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ මෙම තරගාවලියේ ඉහළ ම දක්ෂතාවයි.

ඔවුන්ට අමතර ව ශාරුජන් ශම්මුගනාදන් තරග 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 143ක් ද සහ දිනුර කළුපහන තරග 5ක දී අර්ධ ශතකයක් සමඟන් ලකුණු 135ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දක්වනවා.

තරගාවලියේ පන්දු යවන්නන්ගේ දක්ෂතා

පන්දු යවන්නන් අතුරින් ද ඉහළ දක්ෂතා දැක් වීමට සමත් වූයේ පාකිස්තාන ක්‍රීඩකයෙක්. ඒ දකුණතින් වේග පන්දු යැවූ Ubaid Shah. ඔහු තරගාවලිය නිමා කරන්නේ තරග 4කට සහභාගී වෙමින් කඩුලු 9ක් ලබා ගනිමිනුයි.

රුවිශාන් පෙරේරා

ඉන් පසුව එහි 2 වැනි ස්ථානය සහ ශ්‍රී ලංකා ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කර ගන්නේ රුවිශාන් පෙරේරා. ඔහු තරග 5ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 9ක්. අනතුරුව පාකිස්තානයේ Aftab Ahmed කඩුලු 8ක් ලබා ගනිමින් එහි තෙවැනි ස්ථානයට පත් වෙනවා.

මල්ෂ තරුපති

එම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය සේ ම ශ්‍රී ලංකාවේ 2 වැනි ස්ථානයත් ලබා ගැනීමට සමත් වෙන්නේ මල්ෂ තරුපති. ඔහු තරග 5ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 7ක් වන අතර තරගාවලියේ හොඳම පන්දු යැවීම ද ඔහු විසින් සිදු කරනවා. ඒ තරගාවලියේ සිවු වැනි තරගයේ දී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමිනුයි. ඊට පෙර තරග 3 දී ඔහුට කිසිදු කඩුල්ලක් හිමි ව නොතිබුණ තත්ත්වයක මේ දක්ෂතාව දැක්විම කැපී පෙණෙනවා.

ඊට අමතර ව දිනුර කළුපහන සහ ගරුක් සංකේත් ද කඩුලු 7ක් බැගින් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

පාකිස්තාන තරග සංචාරයේ නිරත වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<