අඩුපාඩු සකසා ගෙන එකට එක කිරීමේ අරමුණින් සිංහයින් පිටියට

1205

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය ගත් නවසීලන්තය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය හෙට (5) පළමු ක්‍රිකට් තරගය පැවැත්වුණු මවුන්ට් මන්ගුවානි ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වේ.

කලකට පසුව ලොකු කුසල් පිත්තෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ 2015 වසරේ අග භාගයේ දී වන අතර එම තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 3-1ක් ලෙස පරාජය විය. එසේම 2012/13 වසරේ නවසීලන්තය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී 3-0ක් ලෙස එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මුහුණට මුහුණ

1979 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 96ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 46ක ජය නවසීලන්තය සතු වෙද්දී, ශ්‍රී ලංකාව තරග 41ක් ජයග්‍රහණය කර ඇත. තවද එක්දින තරග 8ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත්තේ ලකුණු සමවීමෙන් අවසන් වූ එක් තරගයක් ද සමඟිනි.

ප්‍රහාරාත්මක පිතිකරුවන්

කුසල් ජනිත් පෙරේරා

නිමා වූ පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කුසල් ජනිත්ට හැකියාව ලැබුණි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවට ජීවය ලබා දෙන මේ වමත් පිතිකරුවා ජාත්‍යන්තර එක්දින තරග 83ක් තුළ ලකුණු 2195ක් ලබාගෙන ඇත්තේ 29.66ක් වැනි සාමාන්‍යයක් සමඟිනි.

නිමා වූ එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇතිවූ ආබාධයකින් අනතුරුව පළමු වතාවට මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ කුසල් ජනිත් ශතක 4ක් සහ අර්ධ ශතක 11කින් ප්‍රතිවාදීන්ට සංග්‍රහ කර ඇත. නවසීලන්තයට එදිරිව එක්දින තරග දෙකක් පමණක් ක්‍රීඩා කර ඇති කුසල් දෙවන තරගයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම කරනු ඇත.

නිමා වූ තරගයේ දස්කම් – පිතිකරණයෙන් ලකුණු 102 (පන්දු 86ක දී)

කේන් විලියම්සන්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන දකුණත් පිතිකරුවෙකු වන කේන් විලියම්සන් ජාත්‍යන්තර එක්දින තරග 130ක් තුළ ලකුණු 5260ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.54ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි.

විලියම්සන් එක්දින ශතක 11කින් සහ අර්ධ ශතක 33ක් වාර්තා කරගෙන ඇති අතර ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 19ක දී ලකුණු 553ක් ලබාගෙන තිබෙන්නේ 40කට ආසන්න සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

නිමා වූ තරගයේ දස්කම් – පිතිකරණයෙන් ලකුණු 76  (පන්දු 74ක දී)

මිෂාරගෙන් සුපිරි ශතකයක්; තරගාවලියේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට

නිරෝෂන් දික්වැල්ල

නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ සිය මංගල එක්දින ක්‍රිකට් තරගයේ දී ම අර්ධ ශතකයක් ලබා ගත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ උපනායක දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තවත් දක්ෂ ආරම්භක පිතිකරුවෙකි. සිය එක්දින ක්‍රිකට් දිවියේ තරග 47කට සහභාගී වෙමින් ශතක දෙකක් හා අර්ධ ශතක 9ක් සමඟින් ඔහු රැස්කරගෙන සිටින සමස්ත ලකුණු සංඛ්‍යාව 1500ක් (සාමාන්‍ය 34.80).

නිමා වූ තරගයේ දස්කම් – පිතිකරණයෙන් ලකුණු 76 (පන්දු 50ක දී)

මාර්ටින් ගප්ටිල්

නවසීලන්ත කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙක් මෙන්ම ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන ගප්ටිල්, ජාත්‍යන්තර එක්දින තරග 160ක දී ලකුණු 6114ක් ලබාගෙන ඇත්තේ 47.67ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු අතරට අර්ධ ශතක 34ක් හා ශතක 14ක් ඇතුළත් අතර ශ්‍රී ලංකාවට එදිරිව ඔහුගේ දල ලකුණු ලබා ගැනීම සාමාන්‍ය 44කට ආසන්නයි.

නිමා වූ තරගයේ දස්කම් – පිතිකරණයෙන් ලකුණු 138 (පන්දු 139ක දී)

තර්ජනාත්මක පන්දු යවන්නන්

ලසිත් මාලිංග

නැවතත් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලෙස පත්වුණු මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිටින අත්දැකීම් බහුලතම පන්දු යවන්නා ද වේ. දකුණතින් වේගපන්දු යවන මාලිංගගේ ප්‍රබලතම අවිය වන්නේ යෝකර් පන්දුවයි.

එකදින තරග 211ක දී කඩුලු 313ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 5.32ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.

වයස අවුරුදු 35ක් වන මාලිංග නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 23ක දී කඩුලු 31ක් දවාගෙන තිබෙන්නේ 29ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

නිමා වූ තරගයේ දස්කම් – පන්දු යැවීමේ දී 2/78 (පන්දුවාර 10), පිතිකරණයෙන් ලකුණු 11

ටිම් සවුතී

දකුණතින් වේගපන්දු යවන්න සවුතී, ජාත්‍යන්තර එක්දින තරග 69ක දී කඩුලු 126ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 34කට කඩුලු 7ක් දවා ගැනීම හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ඇති සවුති එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 5.15ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.

සවුතීගේ එක්දින ක්‍රිකට් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 7/33කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 14ක දී කඩුලු 21ක් සවුතී විසින් දවාගෙන ඇත.  

අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දස්කම් – පන්දු යැවීමේ දී 0/48 (පන්දුවාර 9.3), පිතිකරණයෙන් ලකුණු 13

https://www.thepapare.com/u19-schools-cricket-3rd-january-2019-roundup-sinhala/

නුවන් ප්‍රදීප්

දකුණතින් වේගපන්දු යවන 32 හැවිරිදි ක්‍රීඩකයෙකු වන නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර එක්දින තරග 32ක දී කඩුලු 37ක් දවා ගැනීමට සමත් වී ඇත. ඉන් කඩුලු 5ක්ම නවසීලන්තයට එරෙහිව ලබා ගත් කඩුලු වේ.

නවසීලන්තයට එරෙහිව 39.20ක් වැනි මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත ප්‍රදීප් පන්දුව පහසුවෙන්ම දෝලනය කිරීමට උපන් හපනෙකි.

නිමා වූ තරගයේ දස්කම් – පන්දු යැවීමේ දී 2/72 (පන්දුවාර 8), පිතිකරණයෙන් ලකුණු 6*

ට්‍රෙන්ට් බෝල්ට්

වයස අවුරුදු 29ක් පමණ වන වමතින් වේගපන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට් අත්දැකීම් බහුල, ජවසම්පන්න ක්‍රීඩකයෙකි.

මොහු එක්දින තරග 70ක දී කඩුලු 128ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 25.50ක් ලෙස දැක්වේ. බෝල්ට් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.17ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 30ක් වැනි හොඳ මට්ටමක සටහන් කරගෙන ඇත.

නිමා වූ තරගයේ දස්කම් – පන්දු යැවීමේ දී 2/65 (පන්දුවාර 10)

මවුන්ට් මන්ගුවානි තණතීරුව හා අවට කාලගුණය

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මවුන්ට් මන්ගුවානි ක්‍රිකට් පිටියේ එක් එක්දින ක්‍රිකට් තරගයක් පවත්වා ඇති අතර ඒ තරගය නවසීලන්තය ලකුණු 45කින් ජයගත්තේය. කෙසේ නමුත් ඉතිහාසගත දත්ත සලකා බැලූ විට පිතිකරුවන්ට වැඩි වාසි ගෙන දෙන මේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දු රැකීම වඩා සුදුසු වනු ඇත.

කාලගුණය දෙස බැලීමේ දී දෙවන එක්දින ක්‍රිකට් තරගයට ඉතාමත් හොඳ කාලගු‍ණ තත්වයක් අපේක්ෂා කිරීමට පුළුවනි. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 15-23 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

දෙපිලේ අවසන් එක්දින තරග පහේ ප්‍රතිඵල

  • ශ්‍රී ලංකාව – L, W, L, L, L
  • නවසීලන්තය – W, L, W, L, W

(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන් L – පරාජයන්)

දෙවන තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්.

නවසීලන්තය කේන් විලියම්සන් (නායක), මාර්ටින් ගප්ටිල්, මැට් හෙන්රි, රොස් ටේලර්, කොලින් මුන්රෝ, ජිමී නිෂාම්, හෙන්රි නිකලස්, ටිම් සයිෆර්ට් (කඩුලු රකින්නා), ටිම් සවුති, ඉෂ් සෝදී , ට්‍රෙන්ට් බෝල්ට්.

අවසන් නිගමනය

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4803ක් සමඟින් ප්‍රසාද ලකුණු 112ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4240ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් සමඟිනි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද නවසීලන්තය පෙරමුණේ පසුවෙයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත සීමිත පන්දුවාර තරග කාලසටහන

  • පළමු එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 3 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රි) (උදෑසන 6.30)
  • දෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 5 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රි) (උදෑසන 6.30)
  • තෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 8 – නෙල්සන් හිදී (උදෑසන 3.30)
  • එකම විස්සයි විස්ස තරගය – ජනවාරි 11 – ඕක්ලන්ඩ් හිදී (උදෑසන 11.30)

සැ.යු:  *සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.

පසුගිය දා ආරම්භ වූ ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<