Home Sinhala මෙන්ඩිස් නැවත පිබිදෙයි; ලෝක T20 ශූරයින් හමුවේ ශ්‍රී ලංකාවට තරග ජයක්

මෙන්ඩිස් නැවත පිබිදෙයි; ලෝක T20 ශූරයින් හමුවේ ශ්‍රී ලංකාවට තරග ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2022

813

සංචාරක ශ්‍රී ලංකාව සහ විස්සයි විස්ස ලෝක ශූර ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන්  තරගය අද (20) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කරමින්. කෙසේ නමුත් 4-1ක් ලෙස තරගාවලිය ජය ගත්තේ ඕස්ට්‍රේලියාවයි.

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ජනිත් ලියනගේ සහ කමිල් මිශාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගන්නට අද සමත් වුනා. ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් 93 සහ 94 වැනි ක්‍රීඩකයින් ලෙස ඔවුන් ඉතිහාසගත වනු ඇත.

ශ්‍රී ලංකාව නිත්‍ය පිතිකරුවන් පස් දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක්, නිත්‍ය වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සහ නිත්‍ය දඟපන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ අද තරගයට අවතීර්ණ වුනා.

එසේම සිව්වැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කරමින් දනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල් සහ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට කමිල් මිශාර, ජනිත් ලියනගේ සහ ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවා තිබුණා. ඕස්ට්‍රේලියාව කිසිදු වෙනසක් කර තිබුණේ නැහැ.

පස්වැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඕස්ට්‍රේලියාව – Aaron Finch (c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Daniel Sams, Ashton Agar, Jhye Richardson, Kane Richardson, Adam Zampa

ශ්‍රී ලංකාව – Kamil Mishara, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis (wk), Janith Liyanage, Dasun Shanaka (c), Chamika Karunaratne, Dushmantha Chameera, Praveen Jayawickrama, Maheesh Theekshana, Lahiru Kumara

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පසුගිය තරග දෙකේ දී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ Agar නැවතත් පසුපෙළ වෙත යොමු කරමින් Finch සමඟ McDermott ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා.

ආරම්භයේ සිටම ඉතාමත් හොඳින් පන්දු යැවීම සිදු කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගොඩනැංවූ පීඩනය හමුවේ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 12ක් තුල නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකාට හැකි වුනා.

පළමු Powerplay අවස්ථාවේ දී ඕස්ට්‍රේලියාව 22/2කට නතර කළ ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ඔවුන්ගේ රටේ පැවති විස්සයි විස්ස තරගයක Powerplay අවස්ථාව තුල ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට සමත් වුනා.

මින් පෙර ද එවැනිම දස්කමක් දක්වා තිබුණු ශ්‍රී ලංකාව 2013 දී ඕස්ට්‍රේලියාව Powerplay අවස්ථාව තුල 28/2ක් ලෙස සීමා කර තිබුණා.

කෙසේ නමුත් අවසානයේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් Maxwell සහ Inglis එක්වී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27ක දී ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු සටහන ගොඩගැනීමට යම් අඩිතාලමක් සකස් කළා. Maxwell සහ Inglis පිළිවෙළින් ලකුණු 29කට සහ ලකුණු 23කට දවා ගැනීමට කුමාර සහ චමීර සමත් වුනා. Stoinis ලකුණු 17යි.

6 වැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රහාරාත්මක සබඳතාවයක් ගොඩනැංවූ Wade සහ Sams එක්ව පන්දු 36ක් තුල වේගවත් ලකුණු 64ක සබඳතාවයක් ගොඩනැංවූවා. එහි පෙරගමන්කරු බවට පත්වුණු Wade පන්දු 27ක් තුල ලකුණු 43 ලබා ගත්තේ 4 පහර 2ක් සහ 6 පහර 2ක් එල්ල කරමින්.

අවසානයේ දී ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කුමාර සහ චමීර අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 155ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් නිස්සංක සමඟ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 23ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් මේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වුනු නිස්සංක මේ තරගයේ දී ලකුණු 13කට දැවී ගියා.

මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් ජනිත් (ලකුණු 8) සහ කමිල් (ලකුණු 1) දෙදෙනාම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම්වලට හසුවීම කණගාටුවට කරුණක් වුනා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව Powerplay අවස්ථාව තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 54ක් ලබා ගනිමින් තරගය සඳහා හොඳ ආරම්භයක් ලබා ගත්තා.

අසලංක තමන් මුහුණ දුන් පළමු පන්දුවටම 4 පහරක් එල්ල කරමින් හොඳ රිද්මයක් සහිතව සිය ඉනිම ආරම්හ කළත්, ඔහුගේ ඉනිම ද ලකුණු 20කට නවතා දමන්නට Agar සමත් වුනා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස පිතිකරණ ලැයිස්තුවේ ආරම්භක පිතිකරණ ස්ථානය නැවතත් තමන් සතු කර ගත් කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම් 11කට පසුව නැවතත් අර්ධ ශතකයක් ලබා ගන්නට සමත් වුනා.

ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ 5 වැනි අර්ධ ශතකය මෙය වුනු අතර ඉනිම පුරාවට කඩුල්ලේ රැඳී සිටි ඔහු පන්දු 58ක දී නොදැවී ලකුණු 69*ක් ලබා ගත්තා. තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබු ඔහුගේ සටන්කාමී ඉනිම 4 පහර 5කින් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනා.

මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමේ මූලික බර සිය කර මතට ගනිද්දී, නායකත්වයේ වගකීම අනෙක් අන්තයෙන් ඉටු කළ ශානක පන්දු 31ක් තුල ලකුණු 35ක් ලබාගෙන ජයග්‍රහණය පෙනෙන මානයේ දී දැවී ගියා. ඔහුගේ ඉනිම 6 පහර 2කින් හැඩවුනා.

අවසානයේ දී චාමික පිටියට පැමිණ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණක් ලබාගෙන ශ්‍රී ලංකා ජය තහවුරු කළ අතර ශ්‍රී ලංකාව පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 155 ඉලක්කය වෙත ළඟා වුනා.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)

තරගාවලියේ වීරයා – Glenn Maxwell (ඕස්ට්‍රේලියාව)

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වුණු විස්සයි විස්ස තරග 9ක් පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව මේ තරගය ජයග්‍රහණය කළ අතර මීට පෙර ශ්‍රී ලංකාව හමුවේ ඕස්ට්‍රේලියාව පරාජයට පත්වුනේ 2017 පෙබරවාරි 19 වැනිදායි. Geelong හිදී පැවැත්වුනු එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 2කින් ජය ගත්තා.


Result


Sri Lanka
155/5 (19.4)

Australia
154/6 (20)

Batsmen R B 4s 6s SR
Aaron Finch c & b 8 12 0 0 66.67
Ben McDermott c & b 3 13 0 0 23.08
Josh Inglis c & b 23 20 0 0 115.00
Glenn Maxwell c & b 29 21 0 0 138.10
Marcus Stoinis c & b 17 10 0 0 170.00
Matthew Wade not out 43 27 0 0 159.26
Daniel Sams c & b 18 15 0 0 120.00
Ashton Agar not out 4 2 0 0 200.00


Extras 9 (b 0 , lb 2 , nb 0, w 7, pen 0)
Total 154/6 (20 Overs, RR: 7.7)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 27 0 6.75
Lahiru Kumara 4 0 34 2 8.50
Dushmantha Chameera 4 0 30 2 7.50
Praveen Jayawickrama 4 0 29 1 7.25
Chamika Karunaratne 4 0 32 1 8.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b 13 8 0 0 162.50
Kusal Mendis not out 69 58 0 0 118.97
Kamil Mishara  run out () 1 3 0 0 33.33
Charith Asalanka b 20 9 0 0 222.22
Janith Liyanage  run out () 8 9 0 0 88.89
Dasun Shanaka b 35 31 0 0 112.90
Chamika Karunaratne not out 1 1 0 0 100.00


Extras 8 (b 1 , lb 1 , nb 0, w 6, pen 0)
Total 155/5 (19.4 Overs, RR: 7.88)
Bowling O M R W Econ
Marcus Stoinis 2 0 13 0 6.50
Daniel Sams 2 0 21 0 10.50
Jhye Richardson 4 0 38 0 9.50
Kane Richardson 3.4 0 28 2 8.24
Ashton Agar 4 0 19 1 4.75
Adam Zampa 4 0 33 0 8.25



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<