ගෙවුණු දවස ජුනි 18 – අවසන් මොහොතේ ලකුණින් වෙස්ලි ජය ගනී

182

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

දෙවැනි තරගය ජය පරාජයෙන් තොරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (18) නිමා විය.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණයත් සමඟින් ටෙස්ට් තරගාවලියේ 1-0ක් සේ ඉදිරියෙන් සිටින කොදෙව්වෝ මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය ද තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත වේලාසනින් අවසන් වන විට ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 147ක් පමණි.

තරගයේ ලකුණු පුවරුව දැක්වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 253ක් ලෙසත් කොදෙව්වන්ගේ පිළිතුරු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 300ක් ලෙසිනි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී 342ක් ලබා ගත්හ.

සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය වෙනුවෙන් හඹා ගිය ඉනිම වර්ෂාවට බිලි වේ

බ. උතුර සහ වයඹට ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18) පැවති තරගවලින් උතුරු මැද පළාත් කණ්ඩායම පරාජය කළ බස්නාහිර පළාත් උතුර හා වයඹ කණ්ඩායම පරාජය කළ උතුරු පළාත ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

එම තරග ප්‍රතිඵල ද්විත්වයත් සමඟ මෙම වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ ගැනීමට බස්නාහිර උතුර කණ්ඩායම සමත් විය. තවද ඊයේ (17) දිනය අවසන් වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන සිටි උතුරු පළාත ඊයේ දිනයේ අවසානයේ දී දෙවැනි තැන සිටි වයඹ අභිබවා පෙරට එන ලදි.

සම්පූර්ණ වාර්තාව: වයඹ අභිබවා උතුර පෙරට එද්දී බ. උතුරට පළමු තැන

රග්බි –

ඉසිපතන ක්‍රීඩකයින් පරදා වෙස්ලි අවසන් පූර්ව වටයට

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවන අර්ධ අවසාන පූර්ව තරගය ඊයේ (18) කොළඹ ඉසිපතන විද්‍යාලයත්, කොළඹ වෙස්ලි විද්‍යාලයත් අතර පැවති අතර තියුණු තරගයකට පසු ලකුණු 22-15ක් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට කොළඹ  වෙස්ලි විද්‍යාලය සමත් විය.

තරගය පුරා කරට කර ක්‍රීඩා විලාසයක් පෙන්වීමට කණ්ඩායම් දෙකම සමත් වූ නමුත් අවසාන මොහොතේ සේශාන් ජයවර්ධන හා මෝහන්දාස් පරනිදරන් වෙස්ලි විද්‍යාලයට අවසන් පූර්ව තරගයේ  අසුන වෙන් කරන්නට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: ඉසිපතන ක්‍රීඩකයින්ට ජනාධිපති කුසලානයේ දොරටු වැසේ

දිනයක අවසානය