අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් 2012 වර්ෂයේදී පැසිපන්දුවට අත්පොත් තැබූ දසුන් නිලන්ත, අද වන විට 18න් පහල ජාතික සංචිතයේ 13 වැනි ස්ථානය දක්වා පැමිණ ඇත.

ධර්මාශෝකයේ 15න් පහළ පැසිපන්දු කණ්ඩායමට ප්‍රථමයෙන්ම ඇතුළත් වූ දසුන්, ක්‍රමක්‍රමයෙන් 17න් පහළ හා 19න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරියට ඇඳුනේ, සහජ දක්ෂතාවය වූ අසිපත නිවැරදි පුහුණුව තුලින් තවතවත් මුවහත් කරගනිමිනි.

ගෙවී ගිය වර්ෂයේ මාතර සාන්ත තෝමස් විද්‍යාලය විසින් සංවිධානය කළ 3×3  තරගාවලියේදී, යොවුන් පාසල් පැසිපන්දු ක්‍රීඩකයින් අතරින් විශිෂ්ට දස්කම් දැක්වූ ඔහු, එම තරගාවලියේ හොඳම ක්‍රීඩකයා බවට පත් වූ අතර මෑතකදී නිමාවූ දකුණු පලාත් පාසල් පැසිපන්දු තරගාවලියේදී ද දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් අභිසෙස් ලබා ගැනීමට සමත්විය.

පැසිපන්දුව තම ජීවිතයේ කොටසක් කරගත් මේ යෞවනයා, දිනක ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලංකා මාතාව රනින් හැඩ කිරීමට දැඩි අපේක්ෂාවෙන් පසුවෙයි.

ThePapare.com අප කල ආරාධනයට දසුන් මෙලෙස අප සමඟින් දොඩමළු විය.

  • ඔබ පැසිපන්දුවට පිවිසෙන්නේ කොහොමද?

මම පැසිපන්දු ක්‍රීඩාව පටන් ගත්තේ 2012 අවුරුද්දෙදි. පැසිපන්දු ක්‍රීඩාවට යොමු වෙන්න මට විශාල ආසවක් තිබුනා.මේ ක්‍රීඩාව අනෙකුත් ක්‍රීඩාවන් හා සසඳා බලනකොට විශේෂත්වයක් තිබෙන ක්‍රීඩාවක්. අප පාසලේ සිටියා පැසිපන්දුවට දක්ෂ ක්‍රීඩකයෙක් විමුක්ති කියලා. ඔහු ක්‍රීඩා කරන විලාසයත් මේ ක්‍රීඩාවට යොමුවෙන්න හේතුවක් වුනා.

  • මේ දක්වා පැමිණි ගමන් මඟ ගැන පොඩි හැඳින්වීමක් කලොත්,

මේ තත්වයට මාව ගෙන ඒම සඳහා ධර්මාශෝක විද්‍යාලයේ රම්සින් ගුරුතුමන් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. මුලින්ම මම විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායමට තේරී පත්වුනා. ඉන් අනතුරුව 17න් පහළ හා 19න් පහළ කණ්ඩායම් සඳහා ක්‍රීඩා කිරීමටද මා හට අවස්ථාව උදා වූ අතර රම්සින් ගුරුතුමන්ගේ නිරන්තර පුහුණුවීම් හේතුවෙන් මගේ දක්ෂතා දිනෙන් දින වර්ධනය වුනා කිව්වොත් නිවැරදි.

  • ක්‍රීඩාවට ඔබේ පවුල‍ෙන් ලැබෙන සහයෝගය කොයිවගේද?

ගෙදර අය නිතරම කිව්වේ ක්‍රීඩාවට වඩා අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න කියලා. එ්ත් මම ක්‍රීඩාට මුල් තැන දීලා කටයුතු කළා. ඇත්ත වශයෙන්ම මගේ තාත්තා ක්‍රීඩාවෙන් මාව මේ වගේ තැනකට රැගෙන එන්න ගොඩක් උදව් කලා. මට ඔහු ගැන ගොඩක් ආඩම්බරයි. ගෙදර අනිත් අයගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා.

  • අධ්‍යාපනය හා ක්‍රීඩාව කොහොමද ඔබ සමබරව කරගෙන යන්නේ?

01මම කවදාවත් පාසල් කටයුතු සහ උපකාරක පන්ති මඟ හැරගෙන පුහුණුවීම් කරලා නැහැ. උපකාරක පන්ති සඳහා සහභාගී වීමෙන් අනතුරුව තමයි පුහුණුවීම් සඳහා සහභාගී වෙන්නේ. කොච්චර රෑ වුනත් පන්ති සඳහා සහභාගී වීමෙන් පසුවයි පුහුණුවීම් සඳහා සහභාගී වුනේ. ඉගෙන ගන්න වෙලාවට  පුහුණුවීම් අමතක කරනවා වගේම පුහුණු වීම් අතරතුර අධ්‍යාපන කටයුතුත් මොහොතකට අමතක කරනවා. මොකද මට කරන දේ හරිය‍ට කරන්න අවශ්‍යතාවයක් තියෙනවා.

සඳහන් කල යුතුම දෙයක් තමයි පාසලෙන් විශාල සහයෝගයක් පැසිපන්දු ක්‍රීඩාවට ලබා දෙනව‍ා. එහිදී අපේ විද්‍යාලයේ විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා, අපේ පැසිපන්දු භාර ආචාර්යවරයා වන අනිල් හේමන්ත මහතා පුහුණුකරුවන් යොදවලා මා හට නිසි පුහුණුවක් ලබා දෙනවා.

  • පැසිපන්දු ක්‍රීඩාවේ ඔබේ ජයග්‍රහණ ගැන සඳහන් කළොත්…

මම මුලින්ම ලබා ගත් ජයග්‍රහණය ගැන සඳහන් කළොත්, 15න් පහළ කණ්ඩායම දකුණු පළාතේ පළමු තැන දිනා ගත් අවස්ථාව සඳහන් කරන්න පුළුවන්. එතනදී මං විශාල ලෙස සතුටට පත් වුණා විතරක් නෙමෙයි තවත් හොඳින් සෙල්ලම් කරන්නට විශාල උනන්දුවක් ඇතිවුණා කිව්වොත් නිවැරදි.

ඒ වගේම අවස්ථා කිහිපයකදීම 17න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වගේම 19න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වෙන්නත් මට පුළුවන් වුනා.

2016 වසරේ පැවැති 3×3 තරගාවලිය මගේ දක්ෂතාවයන් රැසක් පෙන්වීමට හොඳ අවස්ථාවක් වුනා.එතැනින් තවත් ඉදිරියට මේ ක්‍රීඩාව කරගෙන යෑමට උනන්දුවක් ඇති වුණා. මේ තරගාවලියේ අවසන් තරගය ක්‍රීඩා ‍කළේ සාන්ත ඇලෝසියස් කණ්ඩායම සමඟ. අපේ කණ්ඩායම ඒ තරගයත් ජයග්‍රහණය කලා. එහිදී පෙන්වූ දක්ෂතා නිසාවෙන් මම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවටද සම්මාන දිනා ගත්තා.

ඒ වගේම නැවතත් මතක් කරනවා මේ තරගාවලියේදීත් රම්සින් ගුරුතුමා මට විශාල සහයෝගයක් වුනු බව. රම්සින් සර් කවදාවත්ම මට වැටෙන්න දුන්නෙ නැහැ. හැම මොහොතකම මාව දිරිමත් කරලා උද්යෝගිමත් කළා.

තවද මෙවර ධර්මාශෝක විද්‍යාලීය ආදී පැසිපන්දු සංගමය විසින් සංවිධානය කළ පැසිපන්දු තරගාවලියේදීත් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට මට හැකි වුනා.

  • පුහුණුවීම් කරන්න කාලසටහනක් තියෙනවද?

සඳුදා සහ සිකුරාදා දවස්වල සවස් කාලයේ නුගේගොඩ පැසිපන්දු ක්‍රීඩා පිටියට  ගොස් පුහුණුවීම් වල නිරත වෙනවා. අනිත් දවස්වලදි පාසල් සහ උපකාර පන්ති සඳහා බාධාවක් නොවන පරිදි පුහුණුවීම් සඳහා යොමු වෙනවා. ඇත්ත වශයෙන්ම මම මගේම කාලසටහනකට අනුව වැඩ කටයුතු කරනවා.

  • අපිට කියන්න ඔබ කොයිවගේ මානසික පීඩනයට ලක්වුනාද පසුගිය දා නිමාවූ පාසල් තරගාවලියේදී? ඔබව දෙවතාවක් කණ්ඩායමට ආදේශ කලා, මොකද්ද ඔබේ අදහස ඒ පිලිබඳව?

ඇත්තටම මට විශාල පීඩනයක් එල්ල වුනු තරගයක් තමයි, මෙවර අපේ පාසලේ පැවැති පැසිපන්දු තරගාවලියේ අවසන් තරග‍ය. හේතුව විශාල පිරිසක් එදා තරගය නරඹන්න ඇවිත් හිටියා. එ් නිසා තරගය ආරම්භයේදී හිතේ බයක් ඇති වුණා. තරගයේ පළමු කාර්තුවේදී මම වැටුණා. ඉන් අනතුරුව තමයි හරියටම  ක්‍රීඩා කරන්න ගත්තේ. තරගයේ මුල් භාගයේදී බය වුණත් අපේ පුහුණුකරු මාව එලියට අරන් නැවතත් පිටියට යැව්වේ මාව ගොඩක් උද්යෝගිමත් කරලා. ඊට පස්සේ මම මගේ කාර්ය කණ්ඩායම වෙනුවෙන් අවසානය තෙක් කරගෙන ගියා.

  • ඔබට අභියෝගයක් වුනු ක්‍රීඩකයෙකු හෝ කණ්ඩායමක් තියෙනවා?

02‍ඇත්තටම ගොඩක් අභියෝගාත්මක කණ්ඩායමක් වුණේ සාන්ත ඇලෝසියස් කණ්ඩායම. මොකද පසුගිය වසර වලදී අපි ඔවුන්ට පරාජය වුණා. නමුත් පසුගිය අවුරුද්දෙදි හා මේ අවුරුද්දෙදි ඔවුන් අපිට තවත් අභියෝගයක් නෙමෙයි කියලා අපි  පෙන්නුවා, ඒ ඔවුන් සමඟ පැවැති තරග ජයග්‍රහණය කරමින්.

ඒ වගේම කණ්ඩායම තුළ සමඟිය හා මනා අවබෝධය ති‍බේ නම් කිසිම කණ්ඩායමක් අභියෝගාත්මක කණ්ඩායක් නොවෙයි. එ්ක මගේ පෞද්ගලික හැඟීමක්.

  • ඔබ කැමති ශ්‍රී ලාංකීය පැසිපන්දු ක්‍රීඩකයා කවුද?

මම ආස කරන ක්‍රීඩකයෙක් තමයි තුෂාන් ධර්මේ  කියන්නේ. ඔහු ක්‍රීඩා කරන විදියට මම ගොඩක් කැමතියි. එ් වගේම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔහුගෙන්.

  • ක්‍රීඩා පිටියේ අමතක නොවන සිදුවීමක් ගැන කිව්වොත්…

2016 වර්ෂයේදී පැවැත්වූ සමස්ථ ලංකා පැසිපන්දු තරගාවලියේ සාන්ත ඇන්තෝනී විද්‍යාලය සමඟ පැවැති තරගයේදී ඇද වැටීම නිසා මගේ අත කැඩුණා. එ් නිසා මට අවසන් පූර්ව තරගය අහිමි වුණා. එ්ක මගේ ක්‍රීඩා ජීවිතයේ අමතක නොවෙන සිදුවීමක්.

  • පැසිපන්දුවට අමතරව ඔබ කැමති වෙනත් ක්‍රීඩාවක් තියෙනවාද?

මම පැසිපන්දු ක්‍රීඩාවට අමතරව මලල ක්‍රීඩාවට කැමති. මුලින්ම මලල ක්‍රීඩා කරන්න ගත්තත් පැසිපන්දු ක්‍රීඩාව දැක්කට පස්සේ කියා ගන්න බැරි කැමත්තක් හා උනන්දුවක් ඇතිවුනා. අන්තිමේදී මම පැසිපන්දුව තෝරා ගත්තා. පැසිපන්දු කියන්නේ දැන් මගේ ජිවිතේම කොටසක්.

  • මේ ගමනෙදි ඔබ ස්තූතිවන්ත විය යුතු අය ඇති. ඒ අයත් මතක් කලොත්…

පැසිපන්දු ක්‍රීඩාව සඳහා මට නිරන්තරයෙන්ම සහයෝගය ලබා දුන් ලලිත් ගුරුතුමන්ට පළමුවෙන්ම ස්තූති කරනවා. දෙවනුව රම්සින් ගුරුතුමන්ට. එතුමන් මේ ක්‍රීඩාව වෙනුවෙන් මට වැඩිම සහයෝගයක් ලබා දුන් පුද්ගලයෙක්. ඒ වගේම ගැමුණු ගුරුතුමන්, අප විද්‍යාලයේ විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා, පැසිපන්දු භාරව කටයුතු කරන අනිල් හේමන්ත ගුරුතුමන් ඇතුළු මගේ පවුලේ හැමදෙනාටමත් මම මේ වෙලාවේ ස්තූති කරනවා.

මේ පිරිසගේ නොමඳ උදව් උපකාර නිසයි පැසිපන්දු ක්‍රීඩාවෙන් මම ඉදිරියට යන්නේ. ඉතිං මේ හැමදෙනාගෙම  සහයෝගය මේ විදියටම ඉදිරියේදීත් ලැබේවි කියලා මම විශ්වාස කරනවා. 03හැමදේනාටම ස්තූතීයි…..!

  • අවසාන වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු ගැන ඇහුවොත්?

2016 වර්ෂයේදී තෝර‍ා ගනු ලැබූ 18න් පහළ ජාතික කණ්ඩායමේ මම 13 වැනිය‍ා ලෙස තේරී පත් වුණා. කෙසේ හෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම තමයි මගේ එක බලාපොරොත්තුව.

ThePapare.com සියළු දෙනාත් ඔබේ ඉදිරි ගමනට සුභ පතනවා!