ඕෂද සහ ශෙහාන්ගෙන් යුධ හමුදාවට දරුණු ප්‍රහාරයක්!

570

ජාතික කණ්ඩායමේ හිස්තැන් පිරවීමට ආදේශක සොයා යාමේ දී වැඩිම වටිනාකමක් හිමිවන, ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ සිව්වැනි සතිය අද (28) දිවයින පුරා ක්‍රීඩාංගණය රැසක දී ආරම්භ විය. එහි දී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු සහ ශෙහාන් ජයසූරිය දියත් කළ සුපිරි පිතිකරණය දිනයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය.

ගාල්ලට හා මොරටුවට දැවැන්ත ජයග්‍රහණ

ගාල්ල මහින්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ ලබාගත් අද (29) දිනය තුලත් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම…

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

ලහිරු සමරකෝන් විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් බිඳ හෙලූ කඩුලු 4ත්, ඉම්රාන් කාන් සහ රමේෂ් මෙන්ඩිස් දැක්වූ සහයෝගයත් නිසා ප්‍රතිවාදී මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 163කට සීමා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට හැකි විය. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 132ක් ලබා සිටින්නේ ප්‍රථම ඉනිමේ වාසිය තහවුරු කර ගැනීමේ සූදානමිනි. ඒ සඳහා නිසල් ෆ්‍රැන්සිස්කෝ වාර්තා කළ ලකුණු 61 අතිශයින්ම උපකාරී විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 43.2): ශානුක දුලාජ් 39, තරිඳු රත්නායක 36, ප්‍රිමෝශ් පෙරේරා 20, ලහිරු සමරකෝන් 4/56, ඉම්රාන් කාන් 2/13, ‍රමේෂ් මෙන්ඩිස් 2/73.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 132 (පන්දුවාර 43.3): නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, සචින් ජයවර්ධන 38*, තරිඳු රත්නායක 2/55.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන තරංග පරණවිතාන වාර්තා කළ සුපිරි ශතකය නිසා අද දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 288ක් රැස්කර ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට හැකි විය. පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී දිනෙත් තිමෝද්‍ය ද අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය. දිනය අවසන් වන විට වේග පන්දු යවන ක්‍රීඩක විකුම් සංජය කඩුලු 2ක් දඩයම් කරගෙන සිටියේය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 288 (පන්දුවාර 90): තරංග පරණවිතාන 114, දිනෙත් තිමෝද්‍ය 57, ශාලික කරුණානායක 37, මනෝජ් සරත්චන්ද්‍ර 33, විකුම් සංජය 2/55.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් මදූක ලියනපතිරණගේ නොදැවී වාර්තා කළ ශතකය නිසා මේ වන විට ඔහුගේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියි. ඔහුගේ මෙම සුපිරි ඉනිමට කඩුලු රකින පිතිකරු ප්‍රශාන් වික්‍රමසිංහ ලකුණු 88ක් රැස් කරමින් සහයෝගය දැක්වූ අතර ඔහුට තම ශතකය අහිමිව යාම වරාය අධිකාරිය පාර්ශවයෙන් සිදු වූ එකම අවාසනාවන්ත සිදුවීම ලෙස සැලකිය හැකි විය. පන්දු යැවීමේ දී බදුරලිය ක්‍රිකට් සමාජය වෙනුවෙන් අලංකාර අසංක කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – කඩුලු 8ක් දැවී ලකුණු 328 (පන්දුවාර 83): මදූක ලියනපතිරණගේ 101*, ප්‍රශාන් වික්‍රමසිංහ 88, අදීල් මලික් 25, ගිහාන් රූපසිංහ 48, අලංකාර අසංක 6/71, නිම්නාද සුබසිංහ 2/55.  


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ඕෂද ප්‍රනාන්දු සහ ශෙහාන් ජයසූරිය දැක්වූ විශිෂ්ට පිතිකරණ රටාව නිසා තරගයේ මුල්ම දිනය නිමා වෙද්දීම අණසක පතුරුවන්නට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට හැකි විය. ඒ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 418ක් රැස්කර ගනිමිනි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 181ක සබඳතාවයක් ගොඩ නැගූ මොවුන් දෙදෙනා අතුරින් වඩාත් වේගවත් වූ ශෙහාන් ජයසූරිය පන්දු 108ක දී ලකුණු 118ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය. තරගයේ සුපිරි ඉනිම ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 181ක් වාර්තා කළේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 418 (පන්දුවාර 90): ඕෂද ප්‍රනාන්දු 181, ශෙහාන් ජයසූරිය 118, සචිත්‍ර සේරසිංහ 65, රිසිත් උපමාල් 41, ජනිත් සිල්වා 2/59.

බංගලාදේශ අභියෝගයෙන් ඔබ්බට ගොස් හතුරුසිංහ ලෝක කුසලානයට ඉව අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ප්‍රථම පුහුණු සැසි වාරය ඔහු නම් කළ 23 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් ද සමඟින් අද (28) කොළඹ ආර්. ප්‍රේමදාස…

කොළඹ ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

අශාන් ප්‍රියන්ජන්, මාධව වර්ණපුර සහ කවීන් බණ්ඩාර වැනි දේශීය පිටියේ කතාබහට ලක්වන පිතිකරුවන්ගේ සාර්ථකත්වයත් සමඟ අද තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 314ක් රැස්කර ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජයට හැකි විය. එහි දී සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් අක්තාර් කාඩර් කඩුලු 3ක් සහ කසුන් මධුශංක සහ සචිත්‍ර සේනානායක කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන SSC පිළ කිසිවෙකු නොදැවී ලකුණු 24ක් ලබා සිටියි.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 314 (පන්දුවාර 80.5): අශාන් ප්‍රියන්ජන් 84, මාධව වර්ණපුර 79, කවීන් බණ්ඩාර 53, ලසිත් අබේරත්න 43, අක්තාබ් කාඩර් 3/45, කසුන් මධුශංක 2/33, සචිත්‍ර සේනානායක 2/88.

සිංහල ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 24 (පන්දුවාර 7): දිමුත් කරුණාරත්න 24*.

මෙම සියළුම තරග හෙට දෙවැනි දිනයට ක්‍රියාත්මක වන අතර එම තරග තොරතුරු ද ඔබට ThePapare.com වෙතින් දැනගත හැකියි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න