දැල්පන්දුව වෙනස් කළ මාස 8 විප්ලවයේ දැවැන්ත චරිතය

698

11 වැනි ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන තරගාවලිය වසර 9කට පසු නැවත වතාවක් ශ්‍රී ලංකාව වෙත දිනා දීමට තිලකා ජිනදාසගේ දායකත්වය කෙතෙක් ඉවහල් වී ද යත් අමුතුවෙන් පැවසිය යුතු නොවේ. අද සෑම කෙනෙක්ගේම කතාව වී ඇත්තේ එයයි.

සිංගප්පූරුවේ OCBC ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ලත් මේ ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව 5 වැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරියන් ලෙස කිරුළු දිනා ගැනීම අහම්බයක් නම් නොවේ. මේ ඒ ගැන තැබෙන කෙටි සටහනකි.

ආසියානු දැල්පන්දු රැජිනියන්ගේ ආගමනය

පසුගිය දා සිංගප්පූරුවේ දී නිමාවට පත්වූ 11 වැනි ආසියානු කාන්තා දැල්පන්දු ශූරතා තරගාවලියේ අපරාජිත ශූරයන් වූ ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම අද (11) කටුනායක බණ්ඩාරනායක…

“අපි ඒෂියන් විනර්ස්ලා වෙන්න පුළුවන්. කොහොමටත් අපි මුල් තුන අතර ඉන්නවා. අපිටත් වගකීමක් තියෙනවා. දිගු කාලීනව පුහුණුවීම් කරපු එක අපිට හොඳ අත්දැකීමක්. එක මැච් එකක්වත් ලේසි නැහැ. මානසිකත්වයෙන් වැඩි අය ඉදිරියට ඒවි. මම හැම තිස්සේම විශ්වාස කරනවා, මගේ අය හොඳයි, අපිට ස්කෝර් කරන්න පුළුවන් කියලා.“

මේ ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගී වීමට පෙර තිලකා ThePapare.com වෙත කියූ කතාව. තරගාවලියට සූදානම් වීමේ දී තිලකා තුළ පැවති විශ්වාසය මේ ජයග්‍රාහී මොහොතේ සිහිපත් වීම වැළැක්විය නොහැකියි. අප මේ කතාව එතැනින්ම පටන් ගත්තේ ඒ නිසයි.

තිලකා ආසියානු තරගාවලියට සහභාගී වෙන්නේ එම විශ්වාසයත් සමඟ. ඇය තරගයෙන් තරගයට ඒ වෙනුවෙන් කැප වෙන්න ඇති. සැලසුම් කරන්න ඇති. එකී සැලසුම් ක්‍රියාත්මක කරන්නත් ඇති. එහෙත් ඇය කියන්නේ මේ ජයග්‍රහණය ගැන වෙනම කතාවක්.

“අපේ කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. ලංකාවෙ තමයි ආසියාවේ හොඳම දැල්පන්දු ක්‍රීඩිකාවන් ඉන්නේ. අපිට මෙතෙක් දවස් වෙලා තිබුණේ ඒ ටැලන්ට්ස් ටික ට්‍රැක් එකට දාගන්න බැරි වුන එකයි. මම කණ්ඩායම වෙනුවෙන් කළේ පොඩි දෙයයි. ඒ ටැලන්ට් ටික ට්‍රැක් එකට දාල ඒ අයව හරියට ගයිඩ් කළ එක විතරයි.“ මේ ආසියානු දැල්පන්දු රැජිණියන් වූ පසු තිලකා ThePapare.com වෙත කියූ කතාව. ඇය තවත් දෙයක් කීවා.

“2009 අවුරුද්දේ අපි ආසියානු ශූරියන් වෙද්දී හිටියේ පළපුරුදු කණ්ඩායමක්. ඔවුන් ගයිඩ් කරන්න පහසුයි. නමුත් මේ අවුරුද්දේ හිටියේ අඩු පළපුරුද්ද තියෙන, හැබැයි හොඳ ශක්තියක් තියෙන අය. ඒ අය හොඳට පුෂ් කරල ට්‍රේන් කරන් පුළුවන්. අනිත් එක දිගින් දිගට නොකඩවා පුහුණු කිරීම් කරන්න ලැබීමත් මේ ජයග්‍රහණයට ඉවහල් වුනා.“ තිලකා පැවැසුවා.

ඇයට මේ ජයග්‍රාහී කණ්ඩායම මේ ඉලක්කය කරා ගෙන යන්න ලැබෙන්නේ මේ වසරේ ආරම්භයේ දී. කෙටි කාලයකින් විශාල ඉලක්කයක්. අභියෝගවලට කවදත් අභියෝග කරන තිලකා මේ ගැන මැසිවිලි නැගුවේ නැහැ.  

“මට කණ්ඩායම බාර දුන්නේ ජනවාරි 15 වැනිදා. පුහුණු කාලය කණ්ඩායම සමඟ එක් වී උපරිමයෙන් කළමනාකරණය කිරීමයි මූලිකම අභිප්‍රාය වී තිබුණේ. එතැනදි විශේෂ අවධානයක් යොමු කළේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව සහ මානසිකත්වය එක මට්ටමක පවත්වා ගෙන යෑමයි. ඒක අපේ ක්‍රීඩිකාවන් ඉතා හොඳින් හැදෑරුවා. අපි සෙල්ලම් කරන්න ඕන පිළිවෙළ මොකක්ද කියන හැඟීම අපේ ක්‍රීඩිකාවන්ට තිබෙනවා. ඒ වගේම තරගයක් හැසිරවිය යුත්තේ කෙසේද කියලා අපි දැනගෙන හිටියා. මේ දේවල් සමඟ අපිට මේක කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය අපේ ක්‍රීඩිකාවන්ට ලැබිලා තිබෙනවා.”  

තිලකාගේ කතා ලතාව අගනා බැව් නොකියා බැහැ. ඇය තමන්ගේ කණ්ඩායම ගැන විශාල ලෙස විශ්වාසය තබා සිටියා. තමන්ට උත්සාහය තිබේ නම් නොකළ හැක්කක් නොමැති බැවි ඇය අප කාටත් කියා දුන්නා.

“අපිට වැදගත්ම කණ්ඩායම් හැඟීම. තරගාවලියේ ජයග්‍රහණයට හේතුවත් ඒකමයි. තරගයක් දිනවන්න නම් ක්‍රීඩකයෝ ඕන තරම් ඉන්නවා. ඒත් තරගාවලියක් දිනන්න කණ්ඩායමක් අවශ්‍යයි. අපි කටයුතු කළේ ඒ හැඟීමෙන්. අනෙක් එක අපේ කණ්ඩායමේ සෑම කෙනෙක්ම සෑම අභ්‍යාසයක්ම ඉතාම ක්‍රමානුකූලව එක දිගට හැදෑරුවා. ශාරීරික යෝග්‍යතාව ඉතාම වැදගත් කොට සැලකුවා. ශාරීරික යෝග්‍යතාව ක්‍රමවත්ව පවත්වා ගෙන යෑමෙන් තීරණ ගැනීමේ හැකියාව වැඩියි. එතකොට ඒ අය මානසිකවත් දියුණු වෙනවා.”

තරගාවලියේ පළමු වටයේ තරගවල දී යම් යම් සීමා මායිම් ඉක්මවා ගිය අයුරු ද අපි දුටුවා. මේ දේවල් සාමාන්‍යයි. එහෙත් එය ජයග්‍රාහී ගමනකට බාධාවන්.

“සමහර අවස්ථාවල ගොඩාක් සැක සහිත තීරණ ලැබුණා. මේ වගේ වැරදිවල දී ළමයින් ගොඩාක් වැටෙනවා. එහෙම නොවී ඉන්න නම් මානසිකව දියුණු තත්ත්වයක ඉන්න ඕන. මොකද අපි එතැනි එහාටත් තරග රටාව පවත්වා ගෙන යා යුතුයි. අපේ කණ්ඩායමේ සෑම කෙනෙක්ම මානසිකව ඉතා හොඳ තත්ත්වයේ පසුවෙනවා. නාලක හේවාමද්දුම මහතා නිරන්තයෙන් අපේ ක්‍රීඩිකාවන්ට එම ආභාෂයන් ලබා දුන්නා. ඒ දියුණුව නිසා තමයි අපිට මේ වගේ ලකුණු පරතරයකින් තරග දිනන්න පුළුවන් වුනේ.”

මේ දේවල් සමඟ කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවක්ම සාමූහිකව පෑ දක්ෂතා තරගයේ ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් වූ බවයි ඇය පවසන්නේ.

“අපි මෙම තරගාවලිය කලින් ගිය මලාවි සංචාරය කණ්ඩායමේ සාමූහිකත්වයට විශාල පිටිවහලක් වුනා. ඒ වගේම එකට පුහුණුවීම විශාල වැදගත්කමක් ගෙනාවා. අපිට අපේ අඩු-පාඩු හදාගන්න පුළුවන් වෙන්නෙ එහෙම වුනොත් විතරයි. අපි තුළ දක්ෂතා තියෙනවා නම් අපි බලවත්. දීර්ඝ කාලීන පුහුණුව තමයි වැදගත්. මේ තරගාවලියේ දී අපේ ක්‍රීඩිකාවන් සෑම කෙනෙක්ම ඉතාම හොඳ සහයෝගයක් කණ්ඩායමට ලබා දුන්නා. මම හිතන්නේ ඒක තමයි ඉදිරියටත් විය යුත්තේ.”

මේ දේවල් සමඟින් ආ ගමනේ දී තිලකාට මුහුණ දෙන්නට සිදු වූ අසීරු ඉලක්කයන් ද තිබුණා. ඒ සියල්ල ඇය ඉතා ලෙහෙසියෙන් සහ උපේක්ෂා සහගතව ජය ගත්තා. අද දවසේ ලැබූ ජයග්‍රහණයේ බොහෝ නිර්මාතෘන් සිටිය ද ඇතැම් තැනක සිටියේ ඇය පමණයි.

ආසියාව කැළඹූ දැල්පන්දු ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා

සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවති 11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙවර තරගාවලිය පැවැත්වුණේ …

තිලකා කාලයක් හිටියෙ බෲනායි රාජ්‍යයේ. අපේ අයට නොමැති අගයක් ඔවුන් තිලකාට ලබා දුන්නා. නමුත් තිලකාගේ හිත තිබුණෙ මව් රටේ. තිලකා ගරිල්ලා සටන් සෙබළෙක් වගේ ඉතා හොඳ නිරීක්ෂණයකින් ශ්‍රී ලංකාවේ දැල්පන්දුව දෝලනය වන අත බලාගෙන හිටියා. ඒ අවශ්‍ය අවස්ථාවක දී තම දක්ෂතා නැමති අවි මුදාහැරීමේ මෙහෙයුමට සූදානම්ව.

තිලකාට ඒ අවස්ථාව උදා වුනා. ඇය ඉන්ද්‍රකීලයක් සේ දැල්පන්දුව වෙනුවෙන් පෙනී සිටියා. අතහැරිය යුතු තැන අතහැරීමට ද නැවත අල්ලා ගැනීමට අවැසි විට අල්ලා ගැනීමට ද ඇය දැන සිටියා. ඒ තරමින් දැල්පන්දුවේ නිල ඇල්ලීමට සමත් වෙදැදුරෙක් නම් තවත් නැති තරම්.

“කණ්ඩායමේ ඉන්නේ විවිධ වෙනස්කම් සහිත ක්‍රීඩිකාවෝ. වයස, උස, දක්ෂතාව, දරා ගැනීම වගේ දෙවල් වුනත් වෙනස්. ඒ කෙසේ වෙතත් ඔවුන් හොඳ අවබෝධයෙන් ඉන්නවා. එකම ලෙවල් එකක ක්‍රීඩා කරනවා. ප්‍රවීණ ක්‍රීඩිකාවක් වුනත් ඇයත් අනෙකුත් ක්‍රීඩිකාවන් සමඟ එකට අවබෝධයෙන් සෙල්ලම් කරන්න හුරුවෙලා තියෙනවා. ඒක කණ්ඩායමක් ලෙසින් අපිට හොඳ ගමනක් යන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම ආචාර්ය නාලක හේවාමද්දුම මහතා අපිව මානසිකව හදනවා. කණ්ඩායම එකම ස්ථාවරයක, එක මට්ටමකට සිතන්න පුරුදු කරල තියෙනවා. පළපුරුදු ක්‍රීඩිකාවන් ආධුනික අයට උදව් කරගෙන යනවා. ඒක අපේ ගමනට වැදගත්.“

සැබැවින්ම අපි, ඔවුන් තුළ වූ ඒ ආත්ම විශ්වාසයත්, තරගය පාලනය කරන අයුරුත් අපූරුවට දුටිමු. තරගාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දැක්වූ දක්ෂතාව තිලකාගේ දහඩිය මහන්සියේ ප්‍රතිඵල ම විය. තිලකා මේ දේ කිරීමට බොහෝ කාලයක් බලා සිටින්නට ඇති. තිලකාගේ මේ දක්ෂතාව නොවන්නට ඇත්තටම අපිටත් මේ සටහන මේ ආකාරයෙන් ම තබන්නට නොහැකි වන්නටත් ඉඩ තිබුණා.

තිලකාට මේ සියලු දේ කරන්නට ගියේ මාස 7ක පමණ කාලයක්. එය ශ්‍රී ලාංකේය දැල්පන්දුවේ විප්ලවයක්. එසේ වූවා කියා තිලකා මොනර නැටුමක් නටා එම ජයග්‍රහණය සැමරීමට උත්සාහ කළේ නැත. ඇය ඉතා නිහතමානීව එහි සතුට භුක්ති විඳි අයුරුකි දුටුවේ.  

මේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් බවට පත් වී ඇත්තේ ද ඒ නිසායි. මේ ජයග්‍රහණයත් සමඟින් තිලකාට දැන් ඉතිරිව ඇත්තේ එක් විප්ලවයක් ජයග්‍රහණය කිරීමටයි. ඒ ලෝක කුසලාන දැල්පන්දු ශූරතාවලියයි.

එකී අවසන් කඩුල්ලත් පනින්නට තිලකාට ධෛර්ය ශක්තිය ලැබේවායි ThePapare.com සුබ පතන අතර ඔබගේ සුබ පැතුමත් ඇය වෙත එක්කිරීමට අප සමඟ එකතු වෙන ලෙසින් ඔබට ආරාධනා කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<