ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකුට කොරෝනා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

351

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු වන Shane McDermot හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව වාර්තා වනවා.

එලෙස කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු Shane McDermot ක්‍රීඩකයන් සිටින හෝටලයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට වෛද්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු Mickey Arthur, පිතිකරණ පුහුණුකරු Grant Flower සහ භෞතික චිකිත්සක Brett Harrop ඔහුගේ ආසන්නතම ආශ්‍රිතයින් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප වරක් කොරෝනා පරීක්ෂාවන්ට ලක් කර තිබූ අතර එහි දී Shane McDermot පමණක් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව ESPN Cricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ,

“Shane McDermot සමඟ කිසිදු ක්‍රීඩකයෙකු ආසන්නතම ආශ්‍රිතයෙකු විදියට හඳුනා ගෙන නැහැ. ආසන්නත ආශ්‍රිතයන්ට Anti-body පරීක්ෂාවන් හෙට සිදු කරනවා. ඒ වගේම පළමු ටෙස්ට් තරගයට පෙර සියලූම දෙනා නැවතත් කොරෝනා පරීක්ෂාවන්ට ලක් කරනවා”, යනුවෙනුයි.

ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඉරිදා (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<