ශ්‍රී ලංකා යෞවනයන් මාලදිවයිනට සම වෙයි

727

ආදේශක ක්‍රීඩකයකු ලෙස දෙවන අර්ධයේ දී පිටියට පිවිසි නෙත්ම මල්ෂාන් ආබාධ සඳහා ලබා දෙන අතිරේක කාලය තුළ දී වාර්තා කළ ගෝලය හේතුවෙන් මාලදිවයින් කණ්ඩායම අත තිබූ ජයග්‍රහණයක් අහිමි කරන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පාපන්දු කණ්ඩායම අද (31) සමත් විය.

2018 ආසියානු පාපන්දු සම්මේලන යොවුන් ශූරතා තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘බී’ කාණ්ඩයට අදාලව මේ තරගය පැවැත්වුණේ ටජිකිස්තානයේ දීයි.

බංග්ලාදේශය සහ මාලදිවයින පරාජය කිරීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකාව තරගාවලියට

වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය අද (31) ආරම්භ වන අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම අනෙක් දකුණු…

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා ටජිකිස්තානයට පැමිණියේ ඔවුන්ගේ පළමු තරගයට පැය 24කටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දීයි. එමෙන්ම නිසි පුහුණුවක් හෝ කිසිදු තරග අත්දැකීමකින් තොරව මෙම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යෞවනයන්ට ටජිකිස්තානයට ළඟා වීම සඳහා පය 24කටත් වඩා වැඩි කාලයක් වැය කරන්නටත්, ගුවන් ගමන් තුනක නිරතවන්නටත් සිදු විය. එවන් වෙහෙසකර ගමනකින් පසු නිසි විවේකයක් හෝ නොලබා සහභාගී වූ මේ තරගයේ ප්‍රතිඵලය ජයග්‍රහණයක් තරමටම වටින්නේ එබැවිනි.

මෙම තරගයේ අවිවාදිත ප්‍රබලයන් ලෙස සටනට පිවිසුණු මාලදිවයින් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, තරගය ආරම්භ වී මිනිත්තු 15ක් ගත වන විට පෙරමුණ ගන්නට සමත් වුණේ රිස්වාන් ඉස්මායිල් වාර්තා කළ ගෝලය හේතුවෙනුයි. ශ්‍රී ලංකා කණ්ඩායම එතැන් පටන් ප්‍රතිවාදීන්ව පාලනය කර ගන්නට සමත් වූ අතර පළමු අර්ධය අවසන් වීමට මිනිත්තුවක් පමණ ඉතිරිව තිබිය දී ගෝල සම කරන්නට ද ඔවුන්ට හැකියාව ලැබුණේ සාන්ත පීතර විද්‍යාලයේ ශබීර් රසූනියා විසින් මාලදිවයින් ගෝල රකින්නා පසුකර පන්දුව ගෝලය තුලට යොමු කිරීමත් සමගයි.

පළමු අර්ධය – මාලදිවයින 1 – 1 ශ්‍රී ලංකාව

පළමු අර්ධය අවසානයේ වඩාත් ඉහළ මානසිකත්වයක් හිමි කර ගන්නට ශ්‍රී ලංකා යෞවනයන් සමත් වී සිටියත් දෙවන අර්ධය ආරම්භයේ දී ම ඔවුන්ව අහසින් පොළොවට ඇද දමන්නට ප්‍රතිවාදීන් සමත් විය. ඒ දෙවන අර්ධයේ පළමු මිනිත්තුවේ දී මුසානිෆ් මොහොමඩ් මාලදිවයින් කණ්ඩායමේ ගෝල වාසිය ප්‍රතිෂ්ඨාපනය කිරීම හේතුවෙනි.

පළමු අර්ධයේ මෙන්ම දෙවන අර්ධය තුලදීත් ශ්‍රී ලංකා යෞවනයන්, කණ්ඩායම් දෙක අතර ගෝල පරතරය කළමනාකරණය කර ගත නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වීමට ඉඩ ලබා දුන්නේ නැත. කෙසේ වෙතත් තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වන විටත් ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ගෝල 2-1ක් ලෙස ශ්‍රී ලංකාවේ අවාසියටයි. ආබාධ සහ වෙනත් බාධා හේතුවෙන් අහිමි වූ කාලය සඳහා ලබා දෙන අතිරේක මිනිත්තු කිහිපයේ අවසානය ළඟා වෙත්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වුණේ නෙත්ම මල්ෂාන් ක්‍රීඩකයායි. දෙවන අර්ධයේ දී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි ඔහුගේ පාදයෙන් නිකුත් වූ පන්දුව මාලදිවයින් ගෝලය තුළ නැවතුණේ, ලකුණු සම කිරීමේ ගෝලය සමගින් කිසිවෙකු බලාපොරොත්තු නොවූ තරග ප්‍රතිඵලයක් ද සටහන් කරමිනුයි.

තරග ප්‍රතිඵලය  – මාලදිවයින2 – 2 ශ්‍රී ලංකාව

ගෝල ලබාගත් ක්‍රීඩකයන්

  • මාලදිවයින – රිස්වාන් ඉස්මායිල් (15′) , මුසානිෆ් මොහොමඩ් (46′)
  • ශ්‍රී ලංකාව – ශබීර් රසූනියා (44′) , නෙත්ම මල්ෂාන් (90+2′)

කහ කාඩ්පත්

  • මාලදිවයින – අබ්දුල්ලා යාමීන් (84′)
  • ශ්‍රී ලංකාව – පැතුම් විමුක්ති (40’)

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට