ශ්‍රී ලංකාවේ ඩයන් ගෝමස් ආසියාවේ විධායක කමිටුවට

307

“ශ්‍රී ලංකා බොක්සිං භාරකරු” යන නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට ඇතුළත්ව තිබේ. ඒ අද (18) දින තායිලන්තයේ බැංකොක් නුවර ෆෝවින්ග්ස් හෝටලයේ දී පැවති ආසියානු බොක්සිං සම්මේලන නිලවරණයේ දීයි.

රටවල් 17ක නියෝජිතයන් සහභාගී වූ මෙම නිලවරණය ආසියානු බොක්සිං සම්මේලන ඉතිහාසයේ වාර්තාගත සාමාජිකයින් පිරිසකගේ දායකත්වයෙන් පැවැත්විය. ඩයන් ගෝමස් මහතාට අමතරව විධායක කමිටුවට දකුණු ආසියානුවෙකු ලෙස ඇතුළත් වූයේ ඉන්දියාවේ ජේ කෝලි මහතා පමණි.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් ව්‍යාපාරිකයෙකු සහ චින්තකයෙකු ලෙස හැඳින්විය හැකි ගෝමස් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඊට අමතරව ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරාල්වරයා වශයෙන් ද කටයුතු කරන්නේ ඒ මහතායි.

ආසියානු බොක්සිං සම්මේලනයේ නව උප සභාපතිවරු වශයෙන් චීනයේ වූ ඩි සහ දකුණු කොරියාවේ ජේ ජූන් වූ යන මහත්වරු තේරී පත්විය. ශ්‍රී ලංකාවේ බොක්සිං අනාගතයට සුබ ලකුණක් විය හැකි වත්මන් ආසියානු බොක්සිං සම්මේලන විධායක කමිටු සාමාජික ඩයන් ගෝමස් මැතිතුමන්ට ThePapare.com අපි සුබාශිංෂණ ගෙන එන්නෙමු.