ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තැනකට

547
Sri Lanka A vs West Indies A

සංචාරක කොදෙව් A කණ්ඩායමෙන් ශ්‍රී ලංකා A කණ්ඩායමට එල්ල වූ  අභියෝග මැද ආරම්භ වූ දෙවන සිව්දින ටෙස්ට් තරගයේ තෙවන දිනය අද (13) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් පිටියේදී පැවැත්විණි.

පසුගිය ලිපි: දෙවන දිනය වර්ණවත් කල විශාල්ගේ පිතිකරණය

තෙවන දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා A කණ්ඩායම තම පළමු ඉණිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටි අතර අද ශ්‍රී ලංකා පළමු ඉණිම අරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු  66*, නිරෝෂන් දික්වැල්ල ලකුණු 38*ක් නොදැවී වාර්තා කල තිබුනි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 68ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දැවීයන ලදි. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 134ක් ලෙස දැක්විණි. අනතුරුව දික්වැල්ල සමඟින් එක්වූ සම්පත් ගුණරත්න 6වන කඩුල්ල සඳහා ලකුණු 91ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම ඉණිම ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් බව වැඩිදියුණු කල අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පිතිකරුවන් ඉතා ඉක්මනින්ම දවාලමින් රහකීම් කෝන්වල් ඇතුළු කොදෙව් පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යවන ලදි.

දික්වැල්ල 4 පහර 9ක් සමඟින් ලකුණු 88ක සාර්ථක ඉණිමක් දියත් කරමින් සැලකිය යුතු මට්මකට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවන ලදි. සම්පත් ගුණරත්න 4  පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 46ක් ලබාගෙන සිටියදී 9වන කඩුල්ල ලෙස දැවීයන ලදි. කෙසේ නමුදු ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 7ක සීමාව පසුකර යාමට පිතිකරුවන් 3 දෙනෙකු පමණක් සමත් විය.

ශ්‍රී ලංකා A පළමු ඉණිම – 245/10 (72.5): නිරෝෂන් දික්වැල්ල 88, දිමුත් කරුණාරත්න 68, සම්පත් ගුණරත්න 46, රහකීම් කෝන්වල් 6/91

ලකුණු 264ක වාසියක් ද ඇතිව කොදෙව් A කණ්ඩායම තම දෙවන ඉණිම අද දහවල් ආරම්භ කල අතර පළමු කඩුල්ල ලෙස කිරන් පවෙල් ව ලකුණු 4කට දවාලමින් හරවා යැවීමට ලහිරු කුමාර  සමත් විය.

පළමු ඉණිමට සමාන හා නොදෙවෙනි ඉණිමක් නැවතත් දියත් කල රජේන්ද්‍ර චන්ද්‍රික 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 68ක් ලබාගෙන හේට්මයර් සමඟ දෙවන කඩුල්ලට ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

අවසානයේ වේගවත් පිතිකරණයක් දියත් කල කොදෙව්වන්ගේ ලකුණු පුවරුවේ සවිය තව තවත් වැඩි කරමින් මැදපෙළ පිතිකරුවන් දක්ෂ පිතිකරණයක නිරත විය. 4 පහර 5ක් හා 6 පහර 4ක් එල්ල කල ජමාර් හැමිල්ටන් ලකුණු 56*ක් ද, නායක ශම්රන් බෘක්ස් 4 පහර 3ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 53*ක් නොදැවී ලබාගෙන සිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි.  

කොදෙව් A දෙවන ඉණිම  – 216/03 dec (41) : රජේන්ද්‍ර චන්ද්‍රික 68, ජමාර් හැමිල්ටන් 56*, ශම්රා බෘක්ස් 53*,  චරිත් අසලංක 1/63

අනතුරුව ලකුණු 481ක දැවැන්ත හා අභියෝගාත්මක ඉලක්කයක් හඹායාමට තෙවන දිනය අවසානයේ පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට විශාල තර්ජනයක් එල්ල කරමින් දක්ෂ පිතිකරුවන් දෙපලක් දවාලීමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය. ඒ දිමුත් කරුණාරත්න ලකුණු 3කට හා ලහිරු තිරිමාන්න ලකුණු 4ක් ලෙසයි. අද දිනය තුල කොදෙව්වන් තරගයේ වැඩි වාසිය ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 445ක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා A දෙවන ඉණිම (තෙවන දිනය අවසානයේ) – 36/02 (11): අවිශ්ක ප්‍රනාන්දු 18*, රොශ්න්  සිල්වා 11*, ඩරලන් ජොන්සන් 1/4

මෙම තරගයේ අවසන් දිනය හෙට (14) ක්‍රියාත්මක වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට