නොදැවුණු ශතකයක් සමඟින් තිරිමාන්න වීරයා වෙයි

577

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ඉතා අඩු පන්දුවාර ප්‍රමාණයකට සීමා වෙමින් අද (06) ජය පරාජයෙන් තොරව නිමා විය. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තව දුරටත් පවතින්නේ 0-0ක් ලෙසිනි.

මිලන්ත අර්ධ ශතකය ආසන්නයේ

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූ අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 59ක් ලබා සිටිය හ.

තරගයේ පළමු සහ දෙවැනි දිනයන් සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය අතර තෙවැනි දිනයේ දී ද ක්‍රියාත්මක වූයේ පන්දුවාර 15ක් පමණි. තරගයේ අවසන් දිනයේ ද දෙපිළේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ පන්දුවාර 81ක් පමණි. ඒ අනුව දින 4ට පන්දුවාර 360ක් යැවිය යුතු තරගයෙන් පන්දු වාර 279ක්ම වර්ෂාව වෙනුවෙන් වැය වී තිබුණි.

ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරගයේ සිව්වැනි දිනය ආරම්භ කළේ කඩුල්ලක් දැවී ලකුණු 45ක්ව තිබිය දී ය. තම අර්ධ ශතකයට ආසන්නයේ නොදැවී පිටියේ රැඳී සිටි ලහිරු මිලන්තට දිනය එතරම් සාර්ථක වූයේ නැත. ඔහු අද පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 17කට මුහුණ දී තිබුණ ද එකඳු ලකුණක් හෝ තම ඉනිමට එක්කර ගැනීමට සමත් වූයේ නැත. මිලන්ත  මුහුණ දුන් 62 වැනි පන්දුවේ දී ඔහුගේ ඉනිම අවසන් කිරීමට කාලීඩ් අහමඩ් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් මිතුන්ගේ උඩ පන්දු රැකීම හමුවේ ය.

පෙර තරගයේ දී ද ශතකයකින් තම කණ්ඩායමට සංග්‍රහ කළ ලහිරු තිරිමාන්න අද දිනයේ කැපී පෙණෙන පිතිකරු වෙමින් ඉනිම අත්හිටුවන විට නොදැවී ශතකයක් ලබා සිටියේ ය. පන්දු 186ක් වැය වී තිබූ එම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුලත්ව තිබුණි. තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණ තිරිමාන්න, අශාන් ප්‍රියංජන් හා එක්ව 3 වැනි කඩුල්ලට ලකුණු 100ක සබඳතාවක් ද එක් කළේය.

අශාන් ප්‍රියංජන් පන්දු 91ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 57ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය. ඊට අමතරව සධීර සමරවික්‍රම (27) සහ චරිත් අසලංක (39) ද ලකුණු අතරට පිවිස ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

පන්දු යැවීමේ දී නයීම් හසන් ලකුණු 105කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ A ක්‍රීඩකයන්ගේ ඉනිමේ දී කැපී පෙණෙන දක්ෂතා දැක්වූයේ වමත් ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර් ය. ඔහු තරගය අවසන් වන විට පන්දු 53කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප්පත්ති කතාව

ශ්‍රී ලංකාව එවකට ජාත්‍යන්තර ක්‍රිකට් කරළිය තුළ සැලකුණේ ඉතා දුර්වල කණ්ඩායමක් ලෙසයි. මහත්මා ගුණයෙන් යුතු ආධුනිකයන් එවක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව…

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 47කි. එම සබඳතාව බිඳ හෙළීමේ ගෞරවය දිලේෂ් ගුණරත්නට හිමි කර දීමට කඩුල්ල පිටුපස සිටි සධීර සමරවික්‍රම සමත් විය. ඒ උඩ පන්දුවක් රැක ගනිමිනි.

බංග්ලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ජූලි මස 10 දා සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 281 (80.0): ලහිරු මිලන්ත 42, ලහිරු තිරිමාන්න නොදැවී 100, අශාන් ප්‍රියංජන් 57, සධීර සමරවික්‍රම 27, චරිත් අසලංක 39, නයීම් හසන් 2/105

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම්‍; පළමු ඉනිම කඩුල්ලක් දැවී 59 (16.0): සෞම්‍ය සර්කාර් නොදැවී 30, දිලේෂ් ගුණරත්න 1/31

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<