අවාසනාව පරාජය කරන්නට කමිල්ට බැරි වෙයි

Sri Lanka A Tour of Australia 2025

21
Sri Lanka A Tour of Australia 2025

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (04) Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී අවසන් වෙන්නේ ශ්‍රී ලාංකිකයන් ලත් ලකුණු 198ක අවාසනාවන්ත පරාජයක් සමඟිනුයි.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලහිරු උදාර පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා A කණ්ඩායම සතු කරන අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 332ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ සියලුම දෙනා ම දැවී ලබා ගන්නේ ලකුණු 134ක් පමණයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම

ලහිරු උදාර (නායක සහ කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, දුශාන් හේමන්ත, වනුජ සහන්, ප්‍රමෝද් මදුශාන් සහ මොහොමඩ් ශිරාස්.

ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම

Matt Renshaw (නායක), Josh Philippe (කඩුලු රකින්නා), Campbell Kellaway, Jason Sangha,  Nathan McSweeney, Ollie Peake, Liam Scott, Sam Elliott, Henry Thornton, Bryce Jackson සහ Billy Stanlake

ප්‍රතිවාදී සංචාරක නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ඉනිමට අර්ධ ශතක 4ක් ඇතුලත් වෙනවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Nathan McSweeney. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තා.

ඔහු නායක Matt Renshaw සමඟ එක් වෙමින් සිව් වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ගොඩ නගන අතර 5 වැනි කඩුල්ලට Oliver Peake  සමඟ එක් වෙමින් නොදැවී ලකුණු 100ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී Matt Renshaw පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගන්නා ලද අතර Oliver Peake  පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද ලබා ගන්නවා.

ඔවුන්ට අමතර ව Jason Sangha පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරුවන් වූ Josh Philippe පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද සහ Campbell Kellaway පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත, වනුජ සහන්, මොහොමඩ් ශිරාස් සහ ප්‍රමෝද් මදුශාන් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය සටහන් වෙන්නේ අවාසනාවත් සමඟිනුයි. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 2ක් වෙද්දී සහ 2 වැනි කඩුල්ල ලකුණු 6ක් වෙද්දී දවා ගැනීමට සත්කාරක පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී ලසිත් කෲස්පුලේ ලකුණු නොලබා ම ද සහ නායක ලහිරු උදාර ලකුණු 6කට ද තම ඉනිම් අවසන් කරගෙන තිබුණා.

ඒ තත්ත්වය තරමක් දුරට මඟ හරවා ගැනීමට කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ උත්සාහ ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් එක් කෙරෙද්දී, ඒ ලකුණු අතරට සහන් ආරච්චිගේ එක් කරන්නේ ලකුණු 5ක් පමණයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව 4 වැනි කඩුල්ලට පවන් රත්නායක සමඟ එක් වූ කමිල් මිෂාර එවර ලකුණු 65ක් තම කණ්ඩායමට එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ පවන් රත්නායක ලකුණු 28කට දැවී යෑමත් සමඟිනුයි. ඔහුගේ ඉනිම පන්දු 37කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 2ක් ද එක් කර තිබුණා.

ඉන් අනතුරු ව  එතෙක් ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරු බවට පත් ව සිටි කමිල් මිෂාර 5 වැනි කඩුල්ල ලෙසින් ලකුණු 65ක් ලබා සිටිය දී දැවී ගියා. ඔහු ඒ වෙද්දී පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් ද එක් කරගෙන සිටියා.

දැවී ගිය එම ක්‍රීඩකයන්ට අමතර ව සොනාල් දිනූෂ පන්දු 32කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා ගත් අතර චමිඳු වික්‍රමසිංහ (4), දුශාන් හේමන්ත (0), ප්‍රමෝද් මදුශාන් (නොදැවී 1) සහ මොහොමඩ් ශිරාස් ((0) අඩු ලකුණුවලට සීමා වෙමින් ශ්‍රී ලංකා ඉනිම තවත් පන්දු 88ක් ඉතිරි ව තිබිය දී අවසන් වූවා.

ශ්‍රී ලංකා ඉනිම ඒ ලෙසින් අසරණ කිරීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Sam Elliott ලකුණු 14කට කඩුලු 5ක් ද සහ Billy Stanlake ලකුණු 18කට කඩුලු 3ක් ද දවා ගත්තා. ඊට අමතර ව Liam Scott සහ Bryce Jackson ද කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 332 (50.0) Josh Philippe 29, Campbell Kellaway 20, Jason Sangha 50, Matt Renshaw 80, Nathan McSweeney නොදැවී 85, Oliver Peake නොදැවී 55

 

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 134 (35.4) කමිල් මිෂාර 65, පවන් රත්නායක 28, Billy Stanlake 3/18, Sam Elliott 5/14

ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 198ක ජයග්‍රහණයක්.

මෙම තරගාවලියේ 2 වැනි නිල නොලත් එක්දින තරග මේ මස 6 වැනිදා Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<