ශ්‍රී ලංකාවේ මිශ්‍ර පාසල් අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරග අතරින් පැරණිතම තරගය වන අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය සමඟ පැවැත්වෙන සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාර්තු මස 30 සහ 31 දෙදින පැවැත්වේ.
සිව් වසරක් පුරා සිදු වන අම්බලන්ගොඩ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දෙව්නද – ධම්සෝ කණ්ඩායම්වලට මෙවර ද සිදුව ඇත්තේ මොරටුව ද සොසියා ක්‍රීඩාංගණයේ දී තම තමන්ගේ දක්ෂතා මුදා හැරීමට ය. 52 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගය මෙවර මොරටුවේ දී පැවැත්වෙන්නේ තෙවැනි අවස්ථාව ය.
සත්කාරක ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම පස් වැනි වසරේ වර්ණලාභී දිනුක දිල්ශාන් විසින් මෙහෙයවනු ලබන අතර සංචාරක ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායම 6 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක සොහාන් ද ලිවේරා විසින් මෙහෙයවනු ලැබේ.
කොළඹ 7 ක්‍රීඩකයන්ගේ අභියෝගය හමුවේ කොළඹ 3 ක්‍රීඩකයෝ
කොළඹ 3, මහානාම විද්‍යාලය හා කොළඹ 7, ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර 13 වැනි …
සුනිල සංග්‍රාම තරග ඉතිහාසය
තරග ඉතිහාසය ආරම්භ වන්නේ 1963 වසරේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් එම්. එස්. ජේ. වීරබන්සා ද, ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් සුනිල් සන්තියාගෝගේ ද නායකත්වයෙන් යුක්තව ය. එම තරගයේ ජයග්‍රහණය හිමි වෙන්නේ ධර්මාශෝක විද්‍යාලයට ය.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලැබූ මංගල තරග ජයග්‍රහණය ලෙසින් වාර්තා වෙන්නේ 1966 ලැබූ ජයග්‍රහණයයි. එය එතෙක් මෙතෙක් ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලැබූ එකම ජයග්‍රහණය ද වන්නේ ය. එහි ගෞරවය හිමිකර ගෙන සිටින්නේ එන්. යූ. අමරදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි.

සුනිල සංග්‍රාම වාර්තා පිරික්සීමේ දී පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණුලාභියා ලෙසින් ගෞරවය දිනා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග ය. ඒ 2004 වසරේ දී ඔහු ලබා ගත් ලකුණු 169 යි. ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් එකී වාර්තාවේ හිමිකරු වන්නේ 2016 වසරේ දී අමිඳු මෙන්ඩිස් වාර්තා කළ ලකුණු 116 යි.
පන්දු යැවීමේ දී ඉනිමක හොඳම පන්දු යැවීම ධර්මාශෝක විද්‍යාලයේ එස්. ඔස්මන් 1974 වසරේ දී ලකුණු 29කට ලබා ගත් කඩුලු 10යි. ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් රංජිත් ප්‍රියන්ත ලකුණු 37කට ලබා ගත් කඩුලු 7 වාර්තා වේ. තරගයක හොඳම පන්දු යැවීමේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ පී. මිල්ටන් 1985 දී ලකුණු 82කට ලබා ගත් කඩුලු 12 ඉදිරියෙන් තිබේ. ධර්මාශෝකය වෙනුවෙන් එය සටහන් වන්නේ ගයාන් සිරිසෝම 2001 දී ලකුණු 108කට ලබා ගත් කඩුලු 11 යි.
ධර්මාශෝක විද්‍යාලය

කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් අවිවාදයෙන් හැදින්වෙන්නේ ලොහාන් ද සොයිසා ය. ඔහු ශතකයක් සමගින් ලකුණු 743ක් ලබා ඇති අතර කඩුලු 49ක් දවා ගනිමින් දක්ෂතා දක්වා ඇත. ඊට අමතරව නායක දිනුක ඩිල්ශාන් ලකුණු 691ක් සහ කඩුලු 41ක් ලබා ගනිමින් ද උපනායක කවිඳු නදීශාන් ලකුණු 438ක් සහ කඩුලු 58ක් ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වාසවන්ත තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් වර්ගීකරණයට ලක්ව ඇත.
ඊට අමතරව පිතිකරුවන් ලෙසින් සෙනා දේශායි ධර්මසේන ද හසිත රාජපක්ෂ ද ඉදිරියෙන් සිටින අතර පන්දු යවන්නන් අතුරින් ලක්ෂාන් ධනංජය, අකිල ඩිල්ශාන් සහ මනීෂ රශ්මික ඉදිරියෙන්ම පසු වෙති.
ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම
දිනුක ඩිල්ශාන් (උපනායක), කවිඳු නදීශාන් (උපනායක), චානක ජනංග, මනීෂ රශ්මික, අකිල මෙන්ඩිස්, සෙනා දේශායි ධර්මසේන, අභීත චන්ද්‍රගුප්ත, ධනුජ ලක්මාල්, චමිඳු ඩිල්ශාන්, හසිත රාජපක්ෂ, සනුල ගුණරත්න, සසිඳු මල්ෂාන්, නවීන් රංගන, ලොහාන් ද සොයිසා, චාමික ගීත්
කමල් කාරියවසම් (ප්‍රධාන පුහුණුකරු) චානක කරුණාරත්න (සහාය පුහුණුකරු) තිලාන් මධුරංග (සහාය පුහුණුකරු) ටී. එච්. ඩර්වින් ප්‍රියංක (ක්‍රිකට් භාර ආචාර්ය),

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙවර නිමා වූ තරග වාරයේ දී තරග 16කට සහභාගී වී ඉන් තරග දෙකක් ජයග්‍රහණය කරමින් තරග 5ක් පරාජය වෙමින් සුනිල සංග්‍රාමයට සහභාගී වෙති.
ඔවුන් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ ලබා ගනිද්දී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, කළුතර විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කළුතර සිරි කුරුස විද්‍යාලය වෙතින් පරාජය ලබා ඇත.
කණ්ඩායමේ නායක වමත් පිතිකරු කණ්ඩායමේ සිටින පරිණතම ක්‍රීඩකයා සේ ම කණ්ඩායමේ කාගේත් බලාපොරොත්තුව වී තිබේ. ඔහු මෙවර තරගවාරයේ දී ශතක දෙකක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1209ක් ලබා ගනිමින් සිටී. කඩුල්ල පිටුපස රාජකාරියේ ද යෙදෙන සොහාන් දවා ගැනීමට 46ක් සඳහා දායක වී ඇත.
කණ්ඩායමේ උපනායක කවිඳු රාජපක්ෂ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගාවලියේ දී ඔහුගේ සේවය ලබා දීම තාවකාලික වීම ශ්‍රී දේවානන්ද විද්‍යාලයට බලවත් පාඩුවක් විය. කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා වී ඇත්තේ වමතින් දඟපන්දු යවන චමිඳ අනුශ්ක ය. ඔහු මෙවර තරගවාරයේ දී කඩුලු 75ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව ඔහුගේම පසුපසින් ගිය බිවිඳු ජීවන්ක ද කඩුලු 50ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ඊට අමතරව පසිඳු ධනංජය මෙවර තරගවාරයේ දී ලකුණු 436ක් ලබා ගනිමින් සුමුදු ප්‍රොමෝද් කඩුලු 31ක් ලබා ගනිමින් ද ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වීමට සැදී පැහැදී සිටිති.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම
සොහාන් ද ලිවේරා (නායක), කවිඳු රාජපක්ෂ (උපනායක) ප්‍රවීන් අවිශ්ක, හේෂාන් මිලක්ෂ, බිවිඳු ජීවන්ක, චමිඳු අනුශ්ක, පසිඳු ධනංජය, ෂෙරෝන් ෂෙහාන්, ෂෙහාන් රශ්මික, බුද්ධි එරන්දක, චාමික පෙරේරා, සමුදු ප්‍රොමෝද්, මිතිල අචින්තක, විහඟ මධුබාශ්, ප්‍රවීන් ද සොයිසා, දුමිඳු ප්‍රභාත්, ප්‍රමෝද් නවීන්, චමෝද් චන්දූප, කුලිත්සජ්ජන, ෂෙහාන් ද සිල්වා, කවිඳු අකලංක
පී. මිල්ටන් (ප්‍රධාන පුහුණුකරු), සාගර දනංජය (සහාය පුහුණුකරු), රෝහණ චන්ද්‍රකාන්ත ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය)

52 වැනි සුනිල සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අප්‍රේල් මස 6 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට ශ්‍රී දේවානන්ද විද්‍යාලය සියලු කටයුතු සංවිධානය කර ඇත.
නිජබිම අහිමු වූව ද අගනුවර දී ඇවිලෙන සුනිල සංග්‍රාමයේ ප්‍රධාන හේවායෙක් වෙමින් තම තමන්ගේ කඳවුරු ශක්තිමත් කිරීමට දෙපිලේ ම ක්‍රීඩකයෝ බලා සිටිති. එමෙන් ම දෙවිදුහල් හී ප්‍රජාවන් එකි කඩුලු පන්දු ගැටුමේ සොඳුරු නිමේෂයන් දැක බලා ගැනීමට සූදානම්ව සිටී. ජය පරාජය කවුරුන් වූව ද අම්බලන්ගොඩ සුනිල සොහොයුරු සංග්‍රාමය දැඩි තරගකාරීත්වයක් උසුලනු ඇතැයි කාගෙත් විශ්වාසයයි. එකී විශ්වාසය සමඟින් තරග බිමට පිවිසෙන අම්බලන්ගොඩ සුනිල සංග්‍රාම සහෘදයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම් ගෙන එමු.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<























