ශ්‍රී ලංකා පිළට අලුතින් එක්වුණු වමත් පන්දු යවන්නා දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු අද (15) විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ශ්‍රී ලංකා පිළෙන් ඈතට යමින් තිබූ ජයග්‍රහණ බලාපොරොත්තු තවදුරටත් සුරක්ෂිත කිරීමට සමත් වූහ. ඒ දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5ම ලකුණු 8ක් තුලදී බිඳ දමමිනි. කෙසේවෙතත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් නැවත වරක් තම වගකීම පැහැර හැරීම නිසා තවමත් තරගයේ වැඩි වාසිය තිබෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකානුවන් සතුවයි.
ඇඹුල්දෙනිය නිසා ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් සුරැකේ!
ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් දක්ෂතා අතරට පැමිණි තරගයේ මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක..
අද දිනය ආරම්භ වන විටත් දකුණු අප්‍රිකානුවන් කඩුලු 6ක් අතැතිව ලකුණු 170ක් ඉදිරියෙන් සිටි නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මනසේ රැව් දුන්නේ එකම එක කරුණක් පමණි. ඒ කෙසේ හෝ කඩුලු ලබා ගැනීමයි. ඊට සහය පළ කරමින් ඩර්බන් නුවර කිංග්ස්මිඩ් ක්‍රීඩාංගණය හරහා හොඳ සුළං ධාරාවක් ද හමා ගියේ වේග පන්දු යවන්නන්ට තම කාර්යය වඩා හොඳින් කර ගැනීමට අවස්ථාව සපයමිනි. නමුත් ශ්‍රී ලංකා පිළට නැවත තරගයට පිවිසීමට ඉඩ ලබා නොදුන් නායක ප්ලෙසිස් සහ ඩි කොක් ඉතාමත් ප්‍රවේසමෙන් පිතිකරණයේ යෙදෙමින් හොඳ ලකුණු සබඳතාවයක් ගොඩ නගන්නට වූහ.
දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකාවට එකම අභියෝගය වූ ඩි කොක් දෙවැනි ඉනිමේ ද සාර්ථක වෙමින් ටෙස්ට් දිවියේ 16 වැනි අර්ධ ශතකය රැස් කරන්නට අද සමත් විය. ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව Review අවස්ථාවක් ද අපතේ හරිමින් ඔහු දැවී යන විට හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් රැස් කරගෙන සිටියේය. ඒ තම නායකයා සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක තීරණාත්මක සබඳතාවයක් ද ගොඩ නගමිනි. ඒ අනුව ඇඹුල්දෙණියට ඉනිමේ තෙවැනි කඩුල්ලත් හිමිවිය. ඊයේ දිනයේ ඔහු හමුවේ දැවී ගියේ ආරම්භ පිතිකරු ඩීන් එල්ගාර් සහ ටෙම්බා බවුමායි.
Photo Album – Sri Lanka vs South Africa 1st Test 2019 | Day 3
ඩි කොක්ගේ දැවී යාමෙන්ද නොසැලුණු නායක ප්ලෙසිස් තම කණ්ඩායමේ ඉරණම සුරක්ෂිත කරමින් ලකුණු 90ක් රැස් කළේය. ඒ තම ටෙස්ට් දිවියේ 18 වැනි අර්ධ ශතකය ලෙසයි. පන්දු 182කට මුහුණ දෙමින් ඔහු ක්‍රීඩා කළ මෙම ඉවසිලිවන්ත ඉනිම නිසා එක් අවස්ථාවක දකුණු අප්‍රිකානු ඉනිම සටහන් වූයේ ලකුණු 251ට කඩුලු 5ක් ලෙසිනි. ඒ වනවිට ශ්‍රී ලංකාවට ලකුණු 400කට අධික ඉලක්කයක් හිමිවී තරග පරාජය අනිවාර්ය වන බවක් පෙනෙන්නට තිබුනද ඇඹුල්දෙණිය ෆිලැන්ඩර්ගේ කඩුල්ල බිඳ හෙලීමත් සමඟ නැවතත් තරගය දෙපසටම විවෘත විය. ඒ ප්‍රතිවාදීන්ගේ අවසන් කඩුලු 5ම ලකුණු 8ක් තුල දවා ගන්නට විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය සමත් වූ නිසයි.
මේ නිසාවෙන්ම ශ්‍රී ලංකාවට අවසානයේ හිමිවූයේ ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයකි. මෙය හඹා යන්නට පහසු ඉලක්කයක් නොවූවද, දිවා ආහාරය දක්වා වූ කාලය තුලදී දකුණු අප්‍රිකානුවන් පන්දුවට පහර දුන් ආකාරය සැලකිල්ලට ගැනීමේ දී මෙවන් ලකුණු ගණනකට ඔවුන් නවතා ගැනීමට සමත් වීම ගැන ශ්‍රී ලංකා පිළ සතුටු වනවාට සැකයක් නැත. ශ්‍රී ලංකාවට වාසනාව ගෙන ආ වමත් පන්දු යවන්නන් දෙදෙනා වන විශ්ව ප්‍රනාන්දු ලකුණු 71ට කඩුලු 4ක් බිඳ හෙලද්දී, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 66ට කඩුලු 5ක් දවා ගත්තේය. තම මංගල තරගයට ක්‍රීඩා කරන ඇඹුල්දෙණියගේ මෙම සුවිශේෂී දස්කම් ශ්‍රී ලංකා තේරීම් කමිටුවට නවක ක්‍රීඩකයින් පිලිබඳව ඇති පැහැදීම වැඩි කරන්නට හේතු වනු ඇත.
දකුණු අප්‍රිකානුවන් ලබාදුන් ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න කරන්නට අපහසුම කාර්යය හොඳින් ඉටු කළහ. ඒ ඉනිමේ තීරණාත්මක මුල් පැය කඩුලු බිඳ වැටීමකින් තොරව ආරක්ෂා වීමයි. ඔවුන් දෙදෙනා මුල් කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 15ක් පිටියේ රැඳී සිට ලකුණු 42ක් එක් කරන්නටද සමත් වූහ. නමුත් ශ්‍රී ලංකා ඉනිමට කණකොකා හඬන්නේ ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ක්ම ලකුණු 10ක් තුල බිඳ වැටීමත් සමඟයි. ඇත්තෙන්ම ලබා ගත් ආරම්භය දිගු ඉනිමක් බවට පත්කර ගැනීමට අද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් සමත් නොවීම ඉතාමත් කණගාටුදායකය.
අලුත් තුරුම්පුවල වැඩ පෙන්වන පළමු තරගය
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පුරා මාසයකට…
ලහිරු තිරිමාන්න නැවත වරක් පිත්තේ පිටත අග්‍රයේ පන්දුව වද්දාගෙන දැවී ගියේ එකම වරද දිගින් දිගටම සිදු කරමිනි. ඒ කඩුල්ලෙන් ඉවත යන පන්දු වලට නොසැලකිලිමත් ලෙස පිත්ත යොමු කිරීමයි. ඊට සුළු වේලාවකට පසු දිමුත් ෆිලැන්ඩර් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ ප්‍රථම ඉනිමේ ඔහු දැවී ගිය ආකාරය පුනරූපනය කරමිනි. මෙම අවස්ථා දෙකේදීම ඔහු Review අවස්ථාව ලබා ගත්තද එය Umpires-call ලෙස සටහන් වීමද සුවිශේෂී සිදුවීමකි. මෙම තරගය අතරතුරේ දී විනිසුරුවරුන් කටයුතු කළේද ශ්‍රී ලංකා පිළ සමඟ පැරණි තරහක් ඇති අයුරින් වන නිසා දිමුත්ට මෙම අවස්ථා දෙකේදීම ඔවුන් හරස් වීම ගැන පුදුම විය යුතු නොවේ.
කණ්ඩායම ජයග්‍රහණයක් සොයන මොහොතේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉක්මනින් දැවී ගිය විටක අංක 4 පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස්ගෙන් වගකීම් සහගත ඉනිමක් බලාපොරොත්තු වුවද ඔහු ඒ කිසිවක් තඹයකට මායිම් කලේ නැත. ඒ ඔලිවියර්ගේ කෙටි පන්දුවකට සීමිත පන්දුවාර තරගයකට උචිත අන්දමින් අපර්-කට් පහරක් එල්ල කරන්නට ගොස් එය යන්තමින් පිත්තේ වද්දා ගත් හෙයිනි. ඇත්තෙන්ම ටෙස්ට් තරගයක රිද්මය, කඩුල්ලක ඇති වටිනාකම, අවස්ථාවට අනුව පිතිකරණය වෙනස් කිරීම ගැන තැකීමක් නැති ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් හානියක් මිස වාසියක් සිදු නොවන බව තේරීම් කමිටුව දැන්වත් තේරුම් ගත යුතුය.
අලුත් තුරුම්පුවල වැඩ පෙන්වන පළමු තරගය
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න කාලයක්…
මෙම අසුන්දර දැවී යාම් නිසා ශ්‍රී ලංකා ඉනිම අද දිනය නිමා වනවිට දැක්වෙන්නේ ලකුණු 83ට කඩුලු 3ක් වශයෙනි. මුල් ඉනිමේ දී අවාසනාවන්ත දැවී යාමකින් අනතුරුව නැවත සටන ආරම්භ කර සිටින ඕෂධ ප්‍රනාන්දු මේ වනවිට ලකුණු 28ක් ලබා සිටින්නේ හතරේ පහර 4ක් ද සමඟයි. අත්දැකීම් සහිත පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය නිසා තම මංගල තරගයේ දීම දරන්නට අපහසු තරමේ වගකීමක් ඔහුට බාර වී ඇත. අනෙක් අන්තයේ නොදැවී සිටින කුසල් පෙරේරා මේ වනවිට ලකුණු 12ක් රැස් කරගෙන සිටියි. මුල් ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා වූ ඔහු හැකිතාක් වේලාවක් කඩුල්ලේ රැඳී සිට අනෙක් අන්තයේ පිතිකරුට සහය වීම මෙම ඉලක්කය හඹා යාමේදී වැදගත් වනු ඇත.
මේ වනවිට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 221ක් ද, දකුණු අප්‍රිකාවට කඩුලු 7ක් ද අවශ්‍ය වන නිසා හෙට දිනය තුල අනිවාර්යයෙන්ම මෙම තරගයේ ඉරණම විසඳෙනු ඇත. එහි වැඩි වාසිය තිබෙන්නේ දකුණු අප්‍රිකානුවන් සතුව වුවද හොඳ ලකුණු සබඳතා දෙකක් ගොඩ නගා ගන්නට හැකි වුවහොත් ලොවක් මවිත කිරීමට ද ශ්‍රී ලංකා පිළට අවස්ථාවක් ඉතිරිව ඇත. නමුත් ඒ සඳහා ටෙස්ට් තරග ජයක වටිනාකම හොඳින් තේරුම් ගෙන වෘත්තිය ක්‍රීඩකයින් ලෙස වගකීම් සහගතව පිත්ත හැසිරවීමට කුසල්, ඕෂධ, ධනංජය සහ දික්වැල්ල ඇතුළු සෙසු පිතිකරුවන්ට සිදුවනු ඇත.
දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 59.4)
ක්වින්ටන් ඩි කොක් 80, ටෙම්බා බවුමා 47, ෆැෆ් ඩු ප්ලෙසිස් 35, කේශව් මහරාජ් 29, ඩේල් ස්ටේන් 15, ඒඩන් මාර්ක්‍රම් 11, විශ්ව ප්‍රනාන්දු 4/62, කසුන් රාජිත 3/68, සුරංග ලක්මාල් 1/29.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 59.2)
කුසල් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, ලසිත් ඇඹුල්දෙණිය 24, ධනංජය ද සිල්වා 23, ඕෂධ ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 12, ඩේල් ස්ටේන් 4/48, වර්නන් ෆිලැන්ඩර් 2/32, කාගිසෝ රබාඩා 2/48, ඩුවාන් ඔලිවියර් 1/36.
දකුණු අප්‍රිකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 259 (පන්දුවාර 79.1)
ෆැෆ් ඩු ප්ලෙසිස් 90, ක්වින්ටන් ඩි කොක් 55, ඩීන් එල්ගාර් 35, ඒඩන් මාර්ක්‍රම් 28, වර්නන් ෆිලැන්ඩර් 18, ලසිත් ඇඹුල්දෙණිය 5/66, විශ්ව ප්‍රනාන්දු 4/71, කසුන් රාජිත 1/54.
ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 83 (පන්දුවාර 28)
ඕෂධ ප්‍රනාන්දු 28*, ලහිරු තිරිමාන්න 21, දිමුත් කරුණාරත්න 20, කුසල් පෙරේරා 12*, ඩුවාන් ඔලිවියර් 1/3, වර්නන් ෆිලැන්ඩර් 1/13.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<