ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලියටත් කොරෝනා හරස් වෙයි

99

මේ දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් එළඹෙන ජුනි මස ආරම්භයේ දී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) නිල වශයෙන් තහවුරු කළේය.

ලොව දිනූ වට්මෝර්ට ඉන්දීය ක්‍රිකට් සම්බන්ධ තනතුරක්

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම 1996 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ….

එක්දින සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වූ මෙම තරගාවලිය කල් දැමීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඒකමතිකව තීරණය කර ඇත.

කෙසේ නමුත් මෙම වසංගත තත්වය පාලනය වූ වහාම දෙරටේ ක්‍රිකට් තරග කාලසටහන සහ ICC ක්‍රිකට් තරග කාලසටහන අනුව යමින් තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් දෙරටේම ක්‍රිකට් බලධාරීන් සිය එකඟතාවය පළ කර තිබේ.

මේ වන විට කොරෝනා වයිරසය නිසාවෙන් ICCය විසින් පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලි (ICC Events) රැසක්ම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ඊට අමතරව විවිධ රටවල් විසින් සැලසුම් කර තිබූ ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට ඒ ඒ තරග සංවිධායකයින් පියවර ගෙන ඇත. 

එසේම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මාර්තු මස 19 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙක සඳහා එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණි නමුත්, පුහුණුවීම් තරගයක් ක්‍රීඩා කොට දෙවන පුහුණු තරගය අතර මැද නවතා දමා ඔවුන් මෙරටින් පිටව ගියේ ලොව ඇතිව තිබෙන මේ හදිසි ව්‍යසනකාරී තත්වය සැලකිල්ලට ගනිමිනි. 

පසුගිය මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවේ තරග සංචාරයක නිරත වූ අතර එම තරගාවලිය ද අතර මැද නවතා දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් හට සිදු වූයේ මෙම වසංගත තත්වයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි. 

Video – ලෝකෙම ක්‍රිකට් නැවතෙද්දී අපේ ක්‍රීඩකයින් ගෙවතු වැඩ

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට ද කොරෝනා වයිරසය …….

කෙසේ නමුත් මේ වන විට 165,000කට ආසන්න ප්‍රමාණයකගේ දිවි අහිමි කරමින් පැතිර යන මෙම Covid-19 වසංගත තත්වය නිසාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන බොහෝමයක් ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් තිබේ.

ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2020 ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට සැලසුම් කර තිබෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මේ වන විට අවසන් තීන්දුවක් ගෙන නොමැත. 

ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමින් ලොව පුරා ක්‍රිකට් තරගාවලි රැසක් දින නියමයක් නොමැතිව කල් යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ලොව පුරා ක්‍රිකට් ආයතන සඳහා ඉදිරියේ දී යම් යම් මූල්‍යමය අපහසුතාවයන් සඳහා මුහුණ දීමට සිදු වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් මත පළ කොට ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<