Colts සහ Army අවසන් මහා තරගයට

SLC Major Clubs T20 Tournament 2022

922

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Colts CC සහ Sri Lanka Army SC කණ්ඩායම් අද (15) සමත් වුනා.

Sara Oval පිටියේ දී පැවති අවසන් පූර්ව වටයේ තරගවල දී  Colts හමුවේ BRC සහ Sri Lanka Army SC හමුවේ Saracens SC පරාජයට පත්වුනා.

අද පැවති තරග අතරින් Army SC කණ්ඩායමේ නායක තිසර පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කරගැනීමට සමත් වීම කැපී පෙනුනා. දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Colts ක්‍රීඩක අකිල ධනංජය.

Colts CC සහ BRC අතර තරගය

පෙරවරුවේ පැවති මෙම පළමු අවසන් පූර්ව තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් BRC නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී Colts කණ්ඩායම සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම තවත් පන්දු 2ක් ඉතිරිව තිබිය දී ලකුණු 128කට සීමා කිරීමට BRC පන්දු යවන්නන් සමත් වුනා.

එහි දී Colts ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 27ක් තුළ දැවී ගියා. කෙසේ වෙතත් Colts ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු විශාද් රන්දික පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 35ක් රැස් කරගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා.

ඊට අමතරව හෂාන් දුමිඳු පන්දු 20ක දී ලකුණු 22ක් ද, රවිඳු රශාන්ත ලකුණු 21ක් ද සහ ධනංජය ලක්ෂාන් ලකුණු 13ක් ද රැස් කර ගත් අතර අනෙක් පිතිකරුවන් 7 දෙනා තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වුනා.

පන්දු යැවීමේ දී දුවිඳු තිලකරත්න, තිලකරත්න සම්පත්, මල්ක මධුසංක සහ දුශාන් හේමන්ත කඩුලු 2 බැගින් දවා ගන්නා විට විකුම් සංජයට එක් කඩුල්ලක් හිමි වුනා.

පහසු ඉලක්කය වෙනුවෙන් BRC ක්‍රීඩකයන් පිටියට පිවිසිය ද ඔවුන්ට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 61ක් පමණයි. ඒ තවත් පන්දු 21ක් ඉතිරිව තිබිය දී. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වීමට අකිල ධනංජය සමත් වුනා. ඔහු පන්දු 21ක් පමණක් යවමින් ලකුණු 3කට කඩුලු 3ක් දවා ගත්තේ එක් නිලකුණු පන්දුවාරයක් ද යවමින්.

ඊට අමතරව මුදිත ලක්ෂාන් කඩුලු 2ක් දවා ගත් අතර ධනංජය ලක්ෂාන්, සංගීත් කුරේ, චමෝද් බැට්ටගේ සහ විනුජ රන්පුල් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

BRC කණ්ඩායමේ නායක තිලකරත්න සම්පත් (17) එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී දුශාන් හේමන්ත ලකුණු 12ක් වාර්තා කරගත්තා. අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ඉලක්කම් දෙකේ ලකුණු වාර්තා කිරීමට Colts CC පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

Colts CC – සියලු දෙනා දැවී 128 (19.4):විශාද් රන්දික 35, රවිඳු රසාන්ත 21, හෂාන් දුමිඳු 22, දුවිඳු තිලකරත්න 2/13, තිලකරත්න සම්පත් 2/17, මල්ක මධුසංක 2/21, දුශාන් හේමන්ත 2/13.

BRC – සියලු දෙනා දැවී 61 (16.3):තිලකරත්න සම්පත් 17, මුදිත ලක්ෂාන් 2/18, අකිල ධනංජය 3/03.

Colts CC කණ්ඩායමට ලකුණු 67ක ජයග්‍රහණයක්.

>> Click here to view Full Scorecard

Sri Lanka Army SC සහ Saracens SC අතර තරගය

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Army SC ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 169ක් වාර්තා කරගත්තා.

එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක සබඳතා දෙකක් වාර්තා වුනා. තෙවැනි කඩුල්ල වෙනුවෙන් සික්කුගේ ප්‍රසන්න සහ ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 51ක සබඳතාවක් එක් කළා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 30ක් පමණයි. ලක්ෂාන් එදිරිසිංහ පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් රැස් කරගත්තා.

සීක්කුගේ ප්‍රසන්න 5 වැනි කඩුල්ල වෙනුවෙන් දැවී යන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් වාර්තා කරගෙන සිටියා.

අනතුරුව නායක තිසර පෙරේරා සහ මහේෂ් කුමාර එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 55ක සබඳතාවක් එක් කළා. මහේෂ් කුමාර පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් රැස් කරගෙන දැවී යන විට තිසර පෙරේරා ඉනිම අවසන් වන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 50ක් වාර්තා කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Saracens SC කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කර ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 117ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පන්දු 34ක දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 37ක් රැස් කර ගත් ප්‍රමෝද් මධුවන්ත පත්වන විට ආකාශ් සේනාරත්න ලකුණු 29ක් වාර්තා කරගත්තා. ඔහුගේ ඉනිම පන්දු 32කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී යශෝද මෙන්ඩිස්, ලක්ෂාන් එදිරිසිංහ සහ සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2 බැගින් දවා ගත් අතර ගයාන් බණ්ඩාර සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Sri Lanka Army SC – කඩුලු 7ක් දැවී 169 (20):සීක්කුගේ ප්‍රසන්න 39, ලක්ෂාන් එදිරිසිංහ 27, තිසර පෙරේරා නොදැවී 50, ඉසිත විජේසුන්දර 3/25.

Saracens SC – කඩුලු 8ක් දැවී 117 (20):ප්‍රමෝද් මධුවන්ත 37, ආකාශ් සේනාරත්න 29, යශෝද මෙන්ඩිස් 2/33, ලක්ෂාන් එදිරිසිංහ 2/08, සීක්කුගේ ප්‍රසන්න 2/16.

Sri Lanka Army SC කණ්ඩායමට ලකුණු 52ක ජයග්‍රහණයක්.

>> Click here to view Full Scorecard

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 17 වැනිදා පෙරවරුවේ දී P. Sara Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගයේ ද උණුසුම විඳගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<