යොහාන් අර්ධ ශතකයක් රැස්කර ගනී

75

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (19) දින ක්‍රියාත්මක වූ එකම තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 24ක ජයග්‍රහණක් ලබා ගැනීමට වරාය අධිකාරිය කණ්ඩායම සමත් විය.  

ඩිල්ෂාන් මුණවීර තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද…

පන්දුවාර 36කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටියහ. ඉන්පසු තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරුණ අතර ඒ අනුව අවසන් වූ පන්දුවාර 22 දී ජයග්‍රහණය වෙනුවෙන් වරාය අධිකාරිය ක්‍රීඩකයන්ට අවශ්‍ය වූයේ ලකුණු 68ක් පමණි. 

ජයග්‍රාහී වරාය අධිකාරිය කණ්ඩායම වෙනුවෙන් නායක යොහාන් ද සිල්වා පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර  6ක් සමඟින් ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය. 

ප්‍රතිවාදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චානක විජේසිංහ ය. ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් රැස්කර ගත්තේය. 

Group B

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 6ක් දැවී 136 (36) චානක විජේසිංහ 42, සම්පත් පෙරේරා නොදැවී 31, සචිත්‍ර පෙරේරා 20, රජීව වීරසිංහ 2/25. 

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : කඩුලු 2ක් දැවී 92 (22) සුපුන් කාවින්ද 19, යොහාන් ද සිල්වා 50. 

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ අනෙකුත් සෑම තරගයක් ම වර්ෂාව හේතුවෙන් එකඳු හෝ පන්දුවක් නොයවා නතර කිරීමට සිදුවිය. 

ඒ අනුව A කාණ්ඩය නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතව සිටි බී. ආර්. සී. කණ්ඩායම සහ බදුරලිය කණ්ඩායම අතර බී. ආර්. සී. පිටියේ දීත්,  මීගමුව කණ්ඩායම සහ ලංකන් කණ්ඩායම අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේ දීත් සහ එස්. එස්. සී. කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර එස්. එස්. සී. පිටියේ දීත් පැවැත්වීමට නියමිතව තිබූ තරග නොපැවැත්විණි. 

B කාණ්ඩය නියෝජනය කළ සී. සී. සී. කණ්ඩායම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම අතර සී. සී. සී. පිටියේදීත්, පොලිස් කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පොලිස් පිටියේ දීත් පැවැත්වීමට තිබූ තරග ද පැවැත්වීමට නොහැකි විය.  

C කාණ්ඩයේ තරග වූ කෝල්ට්ස් කණ්ඩායම සහ කුරුණෑගල යූත් කණ්ඩායම අතර කෝල්ට්ස් පිටියේ දී පැවැත්වීමට තිබූ තරගයත්, පානදුර කණ්ඩායම සහ සැරසන්ස් කණ්ඩායම අතර පානදුර දී පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් සහ නාවික හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර වැලිසර දී පැවැත්වීමට තිබූ තරගයක් නතර කෙරුණි. 

D කාණ්ඩය නියෝජනය කරමින් මුවර්ස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මුවර්ස් කණ්ඩායම සහ රාගම කණ්ඩායම අතර තරගයත්, පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ටැමිල් යුනියන් කණ්ඩායම සහ කළුතර ටවුන් කණ්ඩායම අතර තරගයත් සහ කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ගුවන් හමුදා කණ්ඩායම සහ නුගේගොඩ කණ්ඩායම අතර තරගයත් නතර කෙරුණි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<