මුල් පෙළේ පිතිකරුවන්ගේ දක්ෂතා මත ප්‍රතිවාදීන් ලබා දුන් ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී පසු කර යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (26) සමත් වුනා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2 වැනි ටෙස්ට් තරගයේ 2 වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 290ක් ලබා සිටියා. ඒ ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 247ට පිළිතුරු ලෙසිනුයි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් පසුවෙනවා.
තරගයේ 2 වැනි දිනය වූ අද දවස ආරම්භ වෙන්නේ බංග්ලාදේශ ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 220ක් ව තිබියදීයි. ඒ වෙද්දී Taijul Islam ලකුණු 9ක් ද සහ Ebadot Hossain ලකුණු 5ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.
දිනයේ යැවුණ 21 වැනි පන්දුවේ දී Ebadot Hossain ලකුණු 8කට දවා ගැනීමට සොනාල් දිනූෂ සමත් වෙනවා. ඉන් අනතුරු ව Taijul Islam පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් අසිත ප්‍රනාන්දු හමුවේ දැවී යනවා.
බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අද දවසේ දී තම ඉනිමට එක් කර ගැනීමට ලැබෙන්නේ ලකුණු 27ක් පමණයි.
කඩුලු දවා ගැනීමේ දී සොනාල් දිනූෂ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු ද්විත්වයක් ද සහ ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- බංග්ලාදේශය 220/8
- සුබ ගමන් මැතිව්ස්!
- වසර 12කට පසුව ගාල්ල පරහකට සිටී
- පැතුම්ගෙන් සුපිරි ඉනිමක් – ශ්‍රී ලංකාව 368/4
- නවක ක්රීඩකයින් රැසක් සමඟ ශ්‍රී ලංකාව බංගලි ටෙස්ට් ගැටුමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිළිතුරු ඉනිම සුපුරුදු ලෙසින් ආරම්භ කරන්නේ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර විසින්. ඔවුන් දෙදෙනා එක් ව දිනයේ දිවා විවේකයට තරගය නතර කරන විට පන්දුවාර 21ක් පුරා නොදැවී පිටියේ රැඳී සිටිමින් ලකුණු 83ක් ලබා සිටියා. ඒ වෙද්දී පැතුම් නිස්සංක අර්ධ ශතකයට ලකුණු 8ක් ද සහ ලහිරු උදාර තම මංගල ටෙස්ට් අර්ධ ශතකයට ලකුණු 10ක් ද මෙපිටින් රැඳී සිටියා.
දිවා විවේකයෙන් අනතුරු ව යැවුණ 15 වැනි පන්දුවේ දී Review අවස්ථාවක් උපයෝගී කර ගනිමින් ලහිරු උදාර ගේ මංගල බලාපොරොත්තුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් අවසන් කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වෙනවා.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 88 රැඳී තිබූ එම අවස්ථාවේ දී ලහිරු උදාර පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව පිටියට පැමිණියේ දිනේෂ් චන්දිමාල්. ඔහු සහ පැතුම් නිස්සංක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් තරගය තේ විවේකයට තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 190ක් බවට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පරිවර්ථනය කර තිබුණා.
ඒ වෙද්දී පැතුම් නිස්සංක සේ ම දිනේෂ් චන්දිමාල් ද තම ලකුණු ගිණුමට අර්ධ ශතක ඉනිම් එක් කරගෙන තිබුණා.
තරගයේ අවසන් කාර්තුවේ දී තම 17 වැනි ටෙස්ට් ශතකය පේන මානයට පැමිණි දිනේෂ් චන්දිමාල් ලකුණු 93 දී තම ඉනිම නිමා කර ගන්නවා. ඒ වෙද්දී ඔහු පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කර ගෙන තිබුණා.
ඔහු තම ඉනිම හැර යන විට පැතුම් නිස්සංක සමඟින් එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 310ක දී ලකුණු 194ක් ද එක් කර තිබුණා.
තරගය 2 වැනි දිනයට නතර කරන විට පැතුම් නිස්සංක පන්දු 238කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් නොදැවී ලකුණු 146ක් ලබා සිටියා. බංග්ලාදේශයට එරෙහි ව පළමු තරගයේ දී ද ශතකයක් ලබා ගත් පැතුම් නිස්සංක අද වාර්තා කළේ තම ටෙස්ට් තරග දිවියේ සිව් වැනි ශතකයයි.
දිනයේ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය අනෙක් අන්තයේ සිටිමින් නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Nayeem Hasan සහ Taijul Islam කඩුල්ල බැගින් දවා ගෙන තිබුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (79.3) Shadman Islam 46, Mominul Haque 21, Mushfiqur Rahim 35, Litton Das 34, Mehidy Hasan Miraz 31, Nayeem Hasan 25, අසිත ප්‍රනාන්දු 3/51, විශ්ව ප්‍රනාන්දු 2/45, සොනාල් දිනූෂ 3/22
- ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 290 (78.0) පැතුම් නිස්සංක නොදැවී 146, ලහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93
හෙට (27) තරගයේ 3 වැනි දිනයයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















