දේශීය පිටියේ ප්‍රමුඛයින්ට එංගලන්ත සිංහයින්ගෙන් රතු එළියක්

2185
Sri Lanka Development Team

ජාත්‍යන්තර තරග අත්දැකීම් අතින් අඩු වූවත් දේශීය පිටියේ මනා පළපුරුද්දක් සහිත ක්‍රීඩකයින් රැසකින් සමන්විත ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමට අද (12) සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හමුවේ සාර්ථක වීමට හැකි වූයේ නැත. නුදුරේදීම ඇරඹීමට නියමිත නිල නොවන ටෙස්ට් සහ එක්දින තරගාවලි සඳහා පෙර සූදානමක් වශයෙන් පැවැත්වෙන මෙම තුන්දින පුහුණු තරගයේ ප්‍රථම දිනය අද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

සභාපතිගේ කණ්ඩායමේ වගකීම් නිපුන් කරුණානායකට

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ නායක නිපුන් කරුණානායක එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත තුන් දින පුහුණු තරගය සඳහා නායකයා වශයෙන් තෝරා පත් කරගෙන ඇත.

අද උදෑසන කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක නිපුන් කරුණානායක ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීම තෝරා ගත්තේ වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි. නමුත් එම බලාපොරොත්තු ඉතාමත් ඉක්මනින් සුන් කරන්නට එංගලන්ත යොවුන් වේග පන්දු යවන්නන් සමත් විය. ඒ ලකුණු 153ක් තුල දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10ම උදුරා ගනිමිනි. CCC කණ්ඩායම නියෝජනය කරන යොවුන් පිතිකරු රොන් චන්ද්‍රගුප්ත හතරේ පහර 9ක් සමගින් ලකුණු 48ක් රැස් කළේ අද ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

ඒ හැරුණුකොට ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා තිබූ දේශීය පිටියේ වැඩි දක්ෂතා දැක්වූ පිතිකරුවන් රැසකට සිදුවූයේ ලකුණු පිපාසයෙන්ම නැවතත් ක්‍රීඩාගාරය වෙත හැරී ඒමටයි. මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේ A කාණ්ඩයේ වැඩිම ලකුණු ලාභියා වන බ්ලූම්ෆීල්ඩ් නායක නිපුන් කරුණානායකට අද රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණි. මීට අමතරව මෙවර දේශීය ක්‍රිකට් තරග වාරයේ ශතක කිහිපයක් රැස්කල ලියෝ ෆ්‍රැන්සිස්කෝ අද ලකුණු 11කට දැවී ගිය අතර සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ඉරෝෂ් සමරසූරියට සිදුවූයේ ලකුණු නොලබාම පිටිය හැර යන්නටයි.

පන්දු යැවීමේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් තෝමස් හෙල්ම් ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර තෝමස් කුරාන් සහ ක්‍රේග් ඕවර්ටන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7කට හිමිකම් කියූ මෙම ක්‍රීඩකයින් තිදෙනාම තවමත් 23වැනි වියටවත් පා නොතැබූ යෞවනයින් වීමයි.

තරගයේ පාලනය කල්තියාම තමන් යටතට ගත් එංගලන්ත ක්‍රීඩකයින් දින තුනකින් යුතු පුහුණු තරගයේ ප්‍රථම දිනය නිමා කළේ කඩුලු 4කට ලකුණු 168ක් රැස් කරමිනි. ඔවුන්ගේ මුල් කඩුලු 4 ලකුණු 69ක් තුල බිඳ වැටුනත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුනු තෝමස් වෙස්ට්ලි (65*) සහ ලියාම් ලිවින්ග්ස්ටන් (61*) මේ වනවිට ලකුණු 99ක නොබිඳුණු සබඳතාවයක් පිහිටුවා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 15ක ඉදිරියක්ද තහවුරු කරගෙනයි. පන්දු යැවීමේදී විමුක්ති පෙරේරා කඩුලු 2ක් බිඳ හෙලූ අතර මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන මලින්ද පුෂ්පකුමාරට අද දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 53.3): රොන් චන්ද්‍රගුප්ත 48, ඩිලාන් ජයලත් 26, තරිඳු කෞෂාල් 18*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 11, කසුන් මධුශංක 10, තෝමස් හෙල්ම් 3/18, තෝමස් කුරාන් 2/23, ක්‍රේග් ඕවර්ටන් 2/31.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 168 (පන්දුවාර 39): තෝමස් වෙස්ට්ලි 65*, ලියාම් ලිවින්ග්ස්ටන් 61*, කීතන් ජෙනින්ග්ස් 13, තෝමස් අල්සොප් 13, විමුක්ති පෙරේරා 2/15, නිසල තාරක 1/36, මලින්ද පුෂ්පකුමාර 1/41.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට