ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2019 වසරේ ශූරතාව දිනා ගැනීමට කොළඹ 3, මහානාම විද්‍යාලය සමත් විය. මේ ඔවුන් ඒ දක්වා පැමිණි ගමන් මග ගැන ThePapare.com තබන සටහනකි. 

ගියවර අනුශූරයෝ නැවතත් අනුශූරයින් කරන්නට මහානාමය සමත් වේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර්…..

වසර 65ක මහානාම ඉතිහාසයේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. මීට පෙර වයස අවුරුදු 13න් පහළ එක් අවස්ථාවක දී ද, වයස අවුරුදු 15න් පහළ එක් අවස්ථාවක දී ද ඔවුන් අවසන් තරග දක්වා පැමිණිය ද එහි දී ඔවුන්ට සිදු වූයේ අනුශූරතාවයෙන් තම ගමන නතර කර ගෙන සැහීමකට පත්වීමටය. 

ඒ අවාසනාවන්ත තත්ත්වයට තිත තැබීමට මෙවර පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් වයස අවුරුදු17න් පහළ ක්‍රීඩකයන්ට හැකි විය. 

“විද්‍යාලය වෙනුවෙන් මේ වගේ අවස්ථාවක් ලබා දීමට හැකි වීම ගැන ගොඩක් සතුටු වෙනවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් අපි විශාල ලෙස මහන්සි වුනා. කණ්ඩායමක් ලෙසින් එකට වැඩ කරද්දී අපිට එක් එක් ක්‍රීඩකයන් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. අපි සෑම කෙනෙක්ටම ඒ හැඟීම තිබුණා. සෑම ක්‍රීඩකයෙක්ම තමන්ගේ වගකීම මොකක්ද කියල තේරුම් අරගෙන ක්‍රීඩා කළා. මං හිතන්නේ අපිට මේ ජයග්‍රහණය කරා යන්න හැකි වුනේ ඒ නිසයි.” මහානාම විද්‍යාලයයි වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ නායක පවන් රත්නායක පැවැසුවේය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ද නියෝජනය කළ පවන් රත්නායක මෙම තරගාවලියේ තරග 12කට සහභාගී වී ලකුණු 433ක් වාර්තා කරන්නේ  ශතකයක් සහ අර්ධ ශතක 4ක් තම ගිණුමට ඇතුළත් කර ගනිමිනි. 

පවන් තරගාවලියේ ආරම්භක තරගය වූ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ශතකයක් වාර්තා කරමින් ලකුණු දඩයම ආරම්භ කරන්නේය. ඊට පසුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, ආනන්ද ශාස්‍ත්‍රාලය, වෙන්නප්පුව ජෝසප් වාස් සහ අවසන් පූර්ව තරගය වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව අර්ධ ශතක වාර්තා කළේය. එපමණකින් නතර නොවන ඔහු පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 17ක් දවා ගැනීමට ද සමත් විය. 

ඔහුට අමතරව උපනායක සහ කඩුලු රකින ක්‍රීඩක විනුක රූබසිංහ මෙවර තරගාවලියේ දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 324ක් ද පුල්ශාන් රෝහණ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 241ක් ද ලබා ගනිමින් මහානාම ජයග්‍රහණයට දායක විය. පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යැවූ සෙතුම් කෙනුල කඩුලු 18ක් ලබා ගනිමින් කණ්ඩායමේ හොඳම කඩුලු දඩයක්කරු විය. ඊට අමතරව දෙවිඳු කැකිරිදෙණිය ද කඩුලු 13ක් දවා ගත්තේය. 

“මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අපේ ජයග්‍රහණයට විශාල ලෙස බලපෑවා. ඒ වගේම කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම දැක්වූ දායකත්වය අපි අගය කරනවා. ඔවුන්ට අමතරව පුහුණුකරු කැළුම් ගංගොඩවිල මහතා විශාල ලෙස මහන්සි වුනා මේ කණ්ඩායම මේ තත්ත්වයට ගේන්න. අපිට හරියට පුහුණු වෙන්න ග්‍රවුන්ඩ් එකක් නැහැ. තිබෙන එක උපයෝගී කරගෙන තමයි පුහුණුවීම් කරන්නේ. ඔහු අමතර දිනවල පවා පුහුණුවීම් යොදා ගනිමින් මේ කණ්ඩායම මේ තත්ත්වයට ගෙනාවා. ඒ වගේම විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන මහතා අවශ්‍ය සෑම පහසුකමක් ම සලසා දුන්නා. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන දායකත්වය අති විශාලයි. මේ ජයග්‍රහණයේ ඔවුනුත් කොටස්කරුවන්.” විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය සිදත් ප්‍රියන්ත වරකාපිටිය මහතා පැවැසුවේය. 

වයස අවුරුදු 17න් පහළ 2019 තරග කාලසටහනේ මහානාමයන්ට හිමි වෙන්නේ C කාණ්ඩයයි. කොළඹ 7 තර්ස්ටන් විද්‍යාලය, කොළඹ 10 සාන්ත ජෝසප් විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ද ඔවුන් සමඟ විය. 

තරගාවලියේ පළමු තරගය වූයේ 2018 වසරේ ශූරයන් වූ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ තරගයයි. එහි දී ඔවුන් පරාජය කරමින් ඇරඹූ ගමන මහානාමයන් අවසන් මහා තරගයේ දී ගිය වසරේ අනුශූරයන් වූ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ද පරාජය කරමින් තරගාවලිය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට සමත් වීම කැපී පෙණුනි. 

මහානාමය පළමු වටයේ දී කාණ්ඩ සූරයන් බවට පත් වෙන්නේ අපරාජිත වාර්තාව ද හිමිකර ගනිමිනි. ඒ අනුව ඔවුන් දෙවැනි වටයට V කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත්හ. එහි දී වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව බෝනස් ලකුණු ද සමඟින් ජයග්‍රහණය කරන ඔවුන් තවත් තරගයක් තිබිය දී ම ඊළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙති. එම වටයේ අවසන් තරගය ලෙසින් පැවති මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙතින් ඔවුන් පරාජය වෙනු ලබන අතර එය ඔවුන් මේ වසරේ ලැබූ එකම පරාජය ද වූහ. 

“අපි ලොකු විශ්වාසයකින් මේ තරගාවලියට සහභාගී වුනේ. තරගාවලියේ පළමු සහ දෙවැනි වටය අවසන් වෙද්දී ඒක තව තවත් තීව්‍ර වුනා. 

දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සිටිමත් ඊට හේතු වුනා. නායක පවන් රත්නායක, උපනායක විනුක රූබසිංහ ඒ වගේම අචින්ත සුපුන්, දෙවිඳු කැකිරිදෙණිය වගේ අය අවුරුදු 3ක් විතර එකටම කණ්ඩායමේ හිටියා. ඔවුන් පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ. ඔවුන් කෙරෙහි වැඩි විශ්වාස තැබුවා. ඒ වගේම කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම සෑම තැනක දී ම එකමුතුව කටයුතු කළා. එතැන දී ජ්‍යෙෂ්ඨයෙක් ද, නවක ක්‍රීඩකයෙක් ද කියන එක වැදගත් කර ගත්තේ නැහැ. අවසන් වටය වෙද්දී අපිට ෆයිනල් එකක් ගහන්න ඕන කියන හැඟීම සෑම ක්‍රීඩකයෙක්ටම තිබුණා.” මහානාම විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු කැළුම් ගංගොඩවිල මහතා ThePapare.com සමග පැවැසුවේය. 

ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී කඳාන ද මැසිනෝද් විද්‍යාලය පරාජය කරමින් ද,  අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ද සහ අවසන් පූර්ව වටයේ දී රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී හමුවෙන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමින් ද අවසාන මහා තරගය දක්වා පැමිණෙති. ඒ ඔවුන්ගේ සිහින යථාර්ථයක් බවට පත් කරමිනි. 

එහෙත් කඩඉම අවසාන මහා තරගයයි. එය ජයග්‍රහණය කළ යුතුම ය. මහානාමය එතෙක් පළමු පෙළ තරගාවලිය ශූරතාවක් දිනා නැත. මහානාම ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ යුතු නම් මේ කඩඉම ජයගත යුතුමය. කණ්ඩායමේ සෑම දෙනෙක්ම මේ බැව් අවබෝධ කරගෙන සිටි බැව් පුහුණුකරු කැළුම් ගංගොඩවිල මහතා පැවැසුවේය. 

“අපි කිසිදු කණ්ඩායමක් සුළුවෙන් හිතුවෙ නැහැ. අවසාන මහ තරගයේ දීත් ඒ සිතුවිල්ලේ වෙනසක් තිබුණෙ නැහැ. තරගයෙන් තරගයට උපරිම දක්ෂතා දක්වමු කියන තැන තමයි අපි හිටියේ. අපි ඒක කළා. ඒ අනුව අපිට හැකි වුනා මහානාම විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්න. මගේ කණ්ඩායමේ වැඩි දෙනෙක් සාමාන්‍ය පෙළ කරන අය ඉන්නේ. ඒත් ඒ කිසි කෙනෙක් කවදාවත් පුහුණුවීම් මග හැරියෙ නැහැ. මහා වැස්සේ පවා පුහුණුවීම්වලට ආවා. 

මම හිතනවා ඒ කැප වීමට ලැබූ ත්‍යාගය තමයි මේ. මගේ සහාය පුහුණුකරු සොනාල් දුල්ශාන් ද මේ ජයග්‍රහණයේ විශාල කොටස්කරුවෙක්. ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමා, ක්‍රිකට් භාර ආචාර්යවරයා, ආදි ශිෂ්‍ය සංගමය වගේ ම මහානාම විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සහයෝගය දක්වන සෑම කෙනෙක්ටම මේ අවස්ථාවේ අපි ස්තූති කරනවා. මොකද අපි ක්‍රිකට් ගහන්නෙ ඔවුන් නිසා. ඔවුන්ගේ සහයෝගය නැත්නම් අපිට ක්‍රිකට් ගහන්න වෙන්නෙ නැහැ.” කැළුම් ගංගොඩවිල මහතා නැවැත පැවැසුවේය. 

ඉතිහාසය වෙනස් කළ මහානාම වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට Thepapare.com හී සුබ පැතුම්.

ජයග්‍රාහී මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් සංචිතය; පවන් රත්නායක (නායක), විනුක රූබසිංහ (උප නායක) සචිර වැලිවත්ත, පුල්ශාන් රෝහණ, සදිෂාන් චමෝද්‍ය, අචින්ත සුපුන්, චමත් චමුපති, අනුග බෙනෙරගම, දෙවිඳු කැකිරිදෙණිය, කවීෂ් දිසානායක, සෙතුම් කෙනුල, නිහිඳු පෙරේරා, හර්ෂ සූරියාරච්චි, ඩිලාන් තාරක, ප්‍රශාන් අරුණෝද්, ඉසුක අමානෙත්.

නිලධාරි මණ්ඩලය; සිදත් ප්‍රියන්ත වරකාපිටිය මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) කැළුම් ගංගොඩවිල මහතා (ප්‍රධාන පුහුණුකරු), සොනාල් දුල්ෂාන් මහතා (සහාය පුහුණුකරු)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<