පාසල් රග්බි පිටියට නැවතත් බාලගිරි දෝෂය

534

මෙම මස 31 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය නැවත වරක් කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය (Sri Lanka School Rugby Football Association – SLARFA) තීරණය කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මෙම තරගාවලිය මැයි මස 31 වැනිදා ආරම්භ කරන බව මීට පෙර දැනුම් දී තිබුණි. පහසුකම් හා ආරක්ෂක ගැටලු කීපයක් නිසා මෙම තීරණය ගෙන ඇත.

පාසල් රග්බි පිටියේ නිවාඩුව අවසන්

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා, පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක්…

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් මෙම තරගාවලියේ සංවිධායකයන් හා පාසල් බලධාරීන් සමඟ අද (20) සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. උසස් පෙළ විභාගය ද අගෝස්තු මාසයට යෙදී ඇති බැවින් එයට පසුව නැවතත් තරගාවලිය ආරම්භ කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇත. ඒ අනුව සැප්තැම්බර් මාසය දක්වා තරගාවලිය කල් යනු ඇත.

මීට පෙර පාසල් රග්බි ශූරතා තරගාවලියේ දෙවන වටය අප්‍රේල් මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට බලධාරීන් පියවර ගන්නා ලදි. ඒ වන විට දෙවන වටයේ එක් තරගයක් පමණක් ක්‍රීඩා කර තිබුණි. ඒ අනුව මෙම කල් යාම නිසා පාසල් කණ්ඩායම්වලට නැවතත් පුහුණුවීම් වෙත යාමට සිදුව ඇත.

තරගාවලි ආරම්භය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය සමගින් පැවති සාකච්ඡාවකින් අනතුරුව මැයි මස 31 වැනිදා සිට තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් තීරණයක් ගෙන තිබුණි. එහි දී තරගාවලිය ජුනි මාසය පුරාවට පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබුණි. නමුත් තරගාවලියට සහභාගි වන පාසල්වලින් මෙම තීරණයට විරුද්ධ වී ඇති අතර එය ද මෙම කල් දැමීමේ තීරණයට හේතුවක් වී ඇත.

පලඟ ශූරතාවය සඳහා පාසල් නැවතත් පිටියට

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවයේ තරග ජුනි මස 5 වැනිදා බදාදා සිට…

කෙසේ වෙතත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 75 වැනි බ්‍රැඩ්බි පලිහ සඳහා වන තරග දෙක පෙර සැලසුම් කර තිබූ ලෙසම ජුනි මස 1 වැනිදා මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී හා 15 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙනු ඇත. එම තරග දෙකම සුහද තරග දෙකක් ලෙස පාසල් තරගාවලියට පරිබාහිරව පැවැත්වීමට නියමිතය.

සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලිය පිළිබඳව තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<