‘තරගාවලියේ වීරයා’ නියම සුදුස්සා Warner නෙමෙයි?

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

16469

විස්සයි විස්ස ලෝක කුසලානය පුරාවට තම පිත්ත මනාව හසුරවමින් ප්‍රතිවාදී කණ්ඩායම් වෙත ප්‍රබල තර්ජනයක් එල්ල කළ පාකිස්තාන කණ්ඩායමේ නායක Babar Azam, 2021 T20 ලෝක කුසලාන ගමන් මඟ නිමා කළේ මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමේ ගෞරවය තමන් සතුකර ගනිමිනි.

කෙසේ නමුත් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වූ T20 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රාහී සටහනකින් නිමා කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය මංගල විස්සයි විස්ස ලෝක කුසලානයේ පහස විඳගැනීමේ අවස්ථාව නිර්මාණය කර දුන් ආරම්භක පිතිකරු David Warner ද මෙවර තරගාවලියේ දී කැපී පෙනෙන ඉනිම් කිහිපයක්ම දියත් කරමින් ප්‍රතිවාදී පන්දු යවන්නන් අසරණ කිරීමට සමත් විය.

ඒ අනුව ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන කාර්‍යභාර්‍යක් ඉටු කළ David Warner හට තරගාවලියේ වීරයා සම්මානය පිරිනැමීමට කටයුතු කළ අතර මේ වන විට එම තීරණය සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තම නොසතුට ප්‍රකාශ කර තිබුණේ එහි සැබෑ අයිතිකරුවා බවට පත්විය යුත්තේ පාකිස්තාන නායක Babar Azam බව සඳහන් කරමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shoaib Akhtar සිය පෞද්ගලික twitter ගිණුමට සටහනක් එක් කරමින් අවධාරණය කර තිබුණේ තරගාවලියේ වීරයා තෝරාපත් කර ගැනීමේ දී ICC විශේෂ ජූරිය මඟින් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය සාධාරණ නොවන බවත්, Babar Azam දැක්වූ දක්ෂතා සලකා බැලුවේ නම් ඒ සඳහා නියම සුදුස්සා කවුරුන් දැයි අවබෝධ කරගත හැකි බවයි.

සුපිරි 12 වටයේ දී වගකීම් සහගත නායකයෙකු වශයෙන් තම රාජකාරිය හරි හැටි අවබෝධ කරගනිමින් තම පිත්ත ක්‍රියාත්මක කළ Babar Azam අර්ධ ශතක ත්‍රිත්වයක් ද ඇතුළුව මුළු ලකුණු 303ක් රැස් කරගත්තේ ලකුණු සාමාන්‍ය 60.60 වැනි ඉහළ අගයක රඳවා ගනිමින් වීම මෙහි දී අමතක නොකළ යුතු කාරණයකි.

කෙසේ නමුත් අවසන් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දිගින් දිගටම අසාර්ථක වීම නිසාවෙන් Sunrisers Hyderabad කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඒම පවා David Warner හට දැඩි අභියෝගයක්ව තිබූ අතර නායකත්වයෙන් ද නෙරපා හැරීමත් සමඟින් ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව දැඩි පීඩනයකට හසුව සිටින බවක් Warner තුළින් දිස්විය.

ඒ සියල්ලක්ම පුස්සක් කරමින් තම හැකියාවන් අවතක්සේරුවට ලක් කරමින් විවේචනය කළ සියල්ලන්ටම තමන් කවුරුන් දැයි  ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීමට David Warner සමත් වූයේ තරගාවලිය අවසානයේ දී වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැන්නා බවට පත්වෙමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<