චරණගේ පන්දුවත්, ක්‍රිෂාන්ගේ පිත්තත් අද දිනය වර්ණවත් කරයි.

796
Schools U19 Cricket
සාන්ත ඇලෝසියස් විදුහලට පූර්ණ ජයක්.

සිංගර් පාසල් ක්‍රිකට් 19න් පහළ තරග වාරයේ අද (6) පැවති තරග වලදී පූර්ණ ජයක් හිමිකර ගැනීමට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වූ අතර ධර්මාශෝක විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජයක හිමිකරුවන් බවට පත්විය. අද පැවති අනෙක් තරග වලදී චරණ නානායක්කාරගේ පන්දු යැවීමත්, ක්‍රිෂාන් සන්ජුලගේ පිතිකරණයත් කාගේත් වැඩි අවධානයට පාත්‍ර විය.

පසුගිය ලිපි: නාලන්ද, මාරිස්ටෙලා සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාල වලින් වැඩි දස්කම්

මොරටු විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය මොරටු විද්‍යාලයේ පිතිකරුවන්ට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කරමින් ඔවුන් සියලු දෙනාම ලකුණු 163ක් තුල දවාලන්නට සමත් විය. මොරටු විද්‍යාලය වෙනුවෙන් නිශාන් මධුශංක ලකුණු 76ක් වාර්තා කරද්දී දක්ෂ පන්දු යැවීමක නිරත වුනු හරීන් වීරසිංහ (4/48) සහ කවිශ්ක ඩිල්ශාන් (3/35) ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 7ක් බිඳ හෙලීමට සමත් විය.

අද උදෑසන සිය දෙවැනි ඉනිම ගොඩ නැගූ ගාල්ල සාන්ත ඇලෝසියස් පිතිකරුවෝ කඩුලු 4කට ලකුණු 283ක් රැස් කරමින් තම ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ. ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කරමින් අශේන් බණ්ඩාර (67), ගිම්හාන ආශිර්වාද (65), නවිඳු නිර්මාල් (59*) සහ නිලුක්ෂ දුල්මින (53) ප්‍රථම ඉනිම සවිබල ගැන්වූහ.

එතකින් නොනැවතුනු ඇලෝසියස් ක්‍රීඩකයෝ අද සවස් භාගයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මොරටු විද්‍යාලීය පිතිකරුවන්ව ලකුණු 80ක් තුල දවා ගනිමින් ඉනිමක හා ලකුණු 40ක දැවැන්ත ජයග්‍රහණයක් තමන්ගේ නමින් ලියා ගන්නට සමත් වූහ. සුපිරි පන්දු යැවීමක නිරත වුනු හරීන් සුරසිංහ මොරටු විද්‍යාලීය පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 21ට කඩුලු 6ක් බිඳ හෙලුවේය.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 72.5) නිශාන් මධුශංක 76, ඉසුරු උදයංග 24, හරීන් වීරසිංහ 4/48, කවිශ්ක ඩිල්ශාන් 3/35.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 283 (පන්දුවාර 58) අශේන් බණ්ඩාර 67, ගිම්හාන ආශිර්වාද 65, නවිඳු නිර්මාල් 59*, නිලුක්ෂ දුල්මින 53, හරීන් වීරසිංහ 30*.

මොරටු විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 80 (පන්දුවාර 32.3) හරීන් සුරසිංහ 6/21.


ගුරුකුල විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

ධර්මාශෝකයට ප්‍රථම ඉනිමේ ජයක් හිමිවුණු මෙම තරගය අම්බලන්ගොඩ U.C පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලීය නායකයාගේ ආරාධනයට අනුව පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලය එහිදී සියල්ලන්ම දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් විය. ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් සුපිරි ඉනිමක නියැලුණු උදාර රවිඳු ලකුණු 95ක් රැස් කරන ලදී. කලිඳු නදීෂාන් ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 183ක් රැස් කරගෙන සිටි ධර්මාශෝක පිතිකරුවන් එය ලකුණු 285ක් දක්වා ඉහළ නංවන්නට සමත් විය. ධර්මාශෝකය වෙනුවෙන් රවිඳු රොෂාන්ත ලකුණු 71ක් සහ කසුන් මධුරංග ලකුණු 43ක් රැස් කරද්දී සචින්ත චමිත් කඩුලු 4ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය.

දිනය නිමාවන වන විට ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 135ක් රැස් කර ගන්නා ලදී. උදාර රවිඳු නොදැවී ලකුණු ලකුණු 52ක් රැස් කල අතර උශාන් නිමන්ත කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 180 (පන්දුවාර 58.2) උදාර රවිඳු 95, අසින්ත මල්ෂාන් 21, කලිඳු නදීෂාන් 3/13, උෂාන් ඉමන්ත 2/13.

ධර්මාශෝක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 285 (පන්දුවාර 65.5) රවිඳු රොෂාන්ත 71, කසුන් මධුරංග 43, කවීෂ් කුමාර 24, සුභාෂ් ලසංග 39*, සචින්ත චමිත් 4/92, පෘථිවි රූසර 35/2.

ගුරුකුල විද්‍යාලය (දෙවැනි ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 135 (40) උදාර රවිඳු 52*, උශාන් නිමන්ත 4/39.


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තරග අතුරින් එක් තරගයක් වූ මෙය මොරටුව සාන්ත සෙබස්තියන් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනූ සත්කාරක සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙමින් ලකුණු 340ක හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවේ සටහන් කරන්නට සමත් විය. ඒ වෙනුවෙන් පදනම සකසා දුන් ඩර්බියන් ද බයිසර් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 129ක් රැස් කරද්දී තරූෂ ප්‍රනාන්දු ලකුණු 83ක් වාර්තා කළේය.

දිනය නිමාවන විට තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන රිච්මන්ඩ් පිතිකරුවෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 124ක් රැස් කරගෙන ස්ථාවර තත්වයක පසුවේ. ඒ වෙනුවෙන් ධනංජය ලක්ෂාන් ලකුණු 70කින් දායක වූ අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 44ක් ලබා සිටියි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 8ක් අතැතිව ලකුණු 216ක් පසුපසින් සිටින නිසා මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය සඳහා ද දැඩි උණුසුම් තරගයක් ඇතිවිය හැක.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 340 (පන්දුවාර 60.1) ඩර්බියන් ද බයිසර් 129, තරූෂ ප්‍රනාන්දු 83, නුවනිඳු ප්‍රනාන්දු 31, සඳුන් මෙන්ඩිස් 3/117, කවීෂ අභිෂේක් 2/28.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 124 (පන්දුවාර 23) ධනන්ජය ලක්ෂාන් 70, කමිඳු මෙන්ඩිස් 44*.


සාන්ත ජෝසප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ දී, අද දිනයේ වීරයා බවට පත් වන්නට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක චරණ නානායක්කාර සමත් විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් නායකයා තමන්ට ආගන්තුක තර්ස්ටන් පිටියේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තෝරා ගැනීම කිසිසේත්ම හොඳ තීරණයක් වූයේ නැත. ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කරන්නේ සියලු දෙනාම දැවී ලකුණු 23ක් පමණි. ඒ සඳහා පන්දුවාර 13යි පන්දු 5ක් ප්‍රමාණවත් විය. ජෝසප් විද්‍යාලයේ පිතිකරුවන් අන්ත අසරණ කළ චරණ නානායක්කාර ලකුණු 15කට කඩුලු 8ක් දවා ගනිමින් සුපිරි දක්ෂතා ප්‍රකට කළේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සත්කාරක තර්ස්ටන් විද්‍යාලය සිය විදුහල් ක්‍රීඩා පිටියේ වාසියෙන් උපරිම ඵල නෙලා ගනිමින් ලකුණු 227ක් වාර්තා කළේය. තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් යෙෂාන් වික්‍රමාරච්චි ලකුණු 69ක් වාර්තා කරද්දී ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් ලකුණු 81ට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 84ක් රැස් කරගෙන තර්ස්ටන් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 120ක් පිටුපසින් පසුවේ. දෙවැනි ඉනිමේදී ද දක්ෂතා අතරට ආ චරණ නානායක්කාර එහිදී ද කඩුලු 3ක් බිඳ දමමින් දිනය තුලදී බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 11ක් බවට පත්කර ගැනීමට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 23 (පන්දුවාර 13.5) චරණ නානායක්කාර 8/15.

තර්ස්ටන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 46) යෙෂාන් වික්‍රමාරච්චි 69, නිපුන් ලක්ෂාන් 38, චරණ නානායක්කාර 20, ජෙහාන් ඩැනියෙල් 5/81.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 84 (පන්දුවාර 23) දිනේෂ් මදුරාවල 29*, ජෙහාන් ඩැනියෙල් 21, චරණ නානායක්කාර 3/37.


මලියදේව විද්‍යාලය සහ ද මැසිනොද් විද්‍යාලය අතර තරගය

මැසිනෝද් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරකයෝ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට මලියදේව විද්‍යාලයට ආරාධනා කළහ. ඒ අනුව ඔවුන් ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කල ලකුණු සංඛ්‍යාව 167කි. ධනංජය ප්‍රේමරත්න ලකුණු අර්ධ ශතකයක් වාර්තා කරද්දී රෝෂිත සෙනෙවිරත්න කඩුලු 5ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ද මැසිනෝද් විද්‍යාලය දිනයේ නිමාව සනිටුහන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 232ක් රැස් කරගෙන සිටියි. මැසිනෝද් කඩුලු එකින් එක බිඳ වැටෙද්දී තම අන්තය ආරක්ෂා කරගනිමින් මැසිනෝද් විද්‍යාලය ජයග්‍රහණය කරා ගෙන යාමට වෙහෙස දරණ ක්‍රිෂාන් සන්ජුල මේ වනවිට නොදැවී ලකුණු 171ක් රැස් කරගෙන සිටියි. හෙට තරගයේ අවසන් දිනයයි.

මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 41.3) ධනංජය ප්‍රේමරත්න 51, දමිත සිල්වා 27, සුපුන් සුමනරත්න 26, දේශාන් ප්‍රනාන්දු 5/39, රෝෂිත සෙනෙවිරත්න 5/42.

ද මැසිනෝද් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 232 (පන්දුවාර 51) ක්‍රිෂාන් සන්ජුල 171*, දමිත සිල්වා 4/56.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට