පාසල් රග්බි පළමු වටයේ හොඳම සංචිතය මෙන්න

482

සති 5ක කාලයක් පුරාවට අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු වටය පසුගිය මාසයේ නිමාවට පත්වීමත් සමඟ එහි දී ඉහළම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ThePapare.com පළමු වටයේ හොඳම කණ්ඩායම ඔබ වෙත ඉදිරිපත් කරන්නට අපි තීරණය කළෙමු.

පළමු වටයේ දී සෑම කණ්ඩායමකම ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතාවන් සැලකිල්ලට ගනිමින් ThePapare.com ක්‍රීඩා විස්තර විචාර මඬුල්ල සහ වාර්තාකරුවන් එක්ව මෙම සංචිතය තෝරාගනු ලැබීය.

ශ්‍රී ලංකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ පහළට

පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දක්ෂතා එතරම් ඉහළ මට්ටමක තිබුණේ නෑ කියන එක අපි සැවෝම හොඳින් දන්නා

  • නිමේෂ් ඒකනායක (ත්‍රිත්ව විද්‍යාලය)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ දී උපරිම දක්‍ෂතා අතරට පැමිණීමට සමත් වූයේ නැතත් එහි දී නිමේෂ් ඒකනායක කණ්ඩායමේ වැඩි බරක් කරට ගනිමින් ඉහළ දක්‍ෂතා දක්වන්නට සමත් විය. ඒ අනුව සාන්ත අන්තෝනි විද්‍යාලය, විද්‍යා විද්‍යාලය සහ සහිරා විද්‍යාලයීය කණ්ඩායම් හමුවේ ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම වාර්තා කර ගත් ජයග්‍රහණවල දී නිමේෂ්ගේ දායකත්වය ඔවුන්ට අතිශය වැදගත් විය. තවදුරටත් ‘scrum’ අවස්ථාවල දී ද ඔහුගේ ක්‍රීඩා විලාශය පළමු වටය පුරාවට කැපී පෙනෙන්නට විය.  

විශේෂ සඳහන් කිරීම – සෙනුර පෙරේරා (සාන්ත පීතර විද්‍යාලය)

  • ජූලියන් චාල්ස් (සාන්ත පීතර විද්‍යාලය)

‘Hooker’ ක්‍රීඩකයෙකුගෙන් කණ්ඩායම අපේක්‍ෂා කරන සේවාව ජූලියන් චාල්ස් තරගාවලියේ පළමු වටය පුරාවට ඒ අයුරින්ම සපයන්නට සමත් විය. ඒ අනුව ‘rolling maul’ අවස්ථාවල දී මෙන්ම කණ්ඩායමේ ‘lineout’ අවස්ථාවන් ඉතා මැනෙවින් සිදු කරන්නටත් ඔහු සුවිශේෂී දායකත්වයක් කණ්ඩායමට ලබා දුන් අතර සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමට තරගාවලියේ පළමු වටය අවසානයේ සිය කාණ්ඩයේ පළමු ස්ථානයේ රැඳෙන්නට එය බෙහෙවින් ඉවහල් විය.

විශේෂ සඳහන් කිරීම – ලෂේන්ද්‍ර ද සිල්වා (සාන්ත තෝමස් විද්‍යාලය)

  • මිලාන් වීරසිංහ (කිංග්ස්වුඩ් විද්‍යාලය)

කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම මෙවර තරග වාරයේ පළමු වටයේ දී ඉහළ දක්‍ෂතා දැක්වීමට අසමත් වීමත් සමඟ ඔවුන්ට ශූරතා කුසලානයෙන් ඉවත්ව යන්නට සිදු වූවත් කණ්ඩායමේ නායක මිලාන් වීරසිංහ එහි දී කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් විය. ඒ අනුව ඔහු තුවාන් ෆරීඩ් සමඟින් ගොඩනඟාගත් සුසංයෝගය පළමු වටයේ අපට දැක බලා ගැනීමට ලැබුණු සුසංයෝග අතරින් එකක් ලෙස ද හඳුනා ගත හැක.

විශේෂ සඳහන් කිරීම – ගර්ශෝම් තන්ගයියා (සාන්ත ජෝසප් විද්‍යාලය)

  • ෆාදිල් අදාහන්

පාසල් රග්බි ලීගයේ දෙවන පෙළ හොඳම ‘forward’ ක්‍රීඩකයා වන ෆාදිල් අදාහන් අවස්ථාවන් රැසක දී ම දැඩි ආයාසයකින් තොරව තනිව ‘lineout’ අවස්ථාවන් දිනා ගනිමින් තරගාවලියේ පළමු වටය පුරාවට ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. ඒ අනුව ඔහු ‘lineout’ අවස්ථාවන් හිදී දැක්වූ දායකත්වය රාජකීය විද්‍යාලයීය කණ්ඩායමට පළමු වටයේ දී අතිශය වැදගත් වූ අතර ඔවුන්ට තරග ජයග්‍රහණය කිරීමේ දී ද එය බෙහෙවින් ඉවහල් විය.

  • නිස්රාන් නිලාර් (සාන්ත පීතර විද්‍යාලය)

අඩි 6ක උසකින් යුතු නිස්රාන් නිලාර් සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ පළමු වටයේ ඉහළම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස හඳුනා ගත හැක. පුහුණුකරුවන් විසින් ඔහුට ඔහුගේ තරගය ක්‍රීඩා කිරීමට අවශ්‍ය ඉඩහසර ලබා දීමත් සමඟ ඔහුගේ උපරිමය කණ්ඩායමට ලබා ගන්නට සමත්ව ඇති අතර ඒ අනුව ‘lineout’ අවස්ථාවල දී මෙන්ම ‘broken play’ අවස්ථාවල දී ද ඔහුගේ දායකත්වය කණ්ඩායමට අතිශය වැදගත් වන්නට විය.

  • ජනිත් සේරසිංහ (ඉසිපතන විද්‍යාලය)

ඉසිපතන විද්‍යාලයීය නායක ජනිත් සේරසිංහ ‘flanker’ ස්ථානයේ ප්‍රබල කාර්යභාරයක් ඉටු කිරීමට වර්ධනය වී ඇත. ඒ අනුව ‘flanker’ ස්ථානයේ මෙන්ම ‘number 8’ ස්ථානයේ ද ක්‍රීඩා කරමින්, ඔහු ‘turnover’ අවස්ථාවල දී සිය කණ්ඩායමට පන්දුව හිමිකර දෙන්නට තරගාවලියේ පළමු වටය පුරාවට සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීය. එමෙන්ම පන්දුව ඉදිරියට රැගෙන යාමේ වගකීම ද පැවරී ඇති ඔහු, ඔහුගේ වේගය උපයෝගී කරගනිමින් ප්‍රතිවාදීන් අභිබවා යමින් එහි දී සිය කාර්යභාරය මැනෙවින් ඉටු කරන්නට සමත් විය.  

විශේෂ සඳහන් කිරීම – කවීන් ජයසේකර (සාන්ත තෝමස් විද්‍යාලය)

  • කෙවින් සමරසේකර (රාජකීය විද්‍යාලය)

රාජකීය විද්‍යාලයේ ‘flanker’ ක්‍රීඩක කෙවින් සමරසේකර තරගාවලියේ පළමු වටයේ දී රාජකීයයන් ප්‍රදර්ශනය කළ ඉදිරිපෙළ ප්‍රබල ක්‍රීඩා විලාශයට අතිශය වැදගත් ක්‍රීඩකයෙක් විය. ඒ අනුව කණ්ඩායමේ ‘forward’ ක්‍රීඩකයින් මෙහෙයවමින් රාජකීය ආක්‍රමණවල දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ඔහු ‘breakdown’ අවස්ථාවල දී කණ්ඩායමට ලබා දෙන දායකත්වය ද විශේෂයෙන් කැපී පෙනෙන්නට විය.

  • තරිඳු ද අල්විස් (සාන්ත ජෝසප් විද්‍යාලය)

‘Number 8’ ස්ථානයේ ක්‍රීඩා කරන තරිඳු අල්විස් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ පළමු වටය අවසානයේ පෙරමුණට රැගෙන එන්නට ඉහළම දායකත්වයක් සැපයූ ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස හඳුනා ගත හැක. තුන්වැනි වසරේ ක්‍රීඩකයෙක් වන තරිඳුගේ දක්ෂතාවන් විශේෂයෙන් ඔවුන් පළමු වටයේ අංක 1 ස්ථානය තහවුරු කර ගත් පළමු වටයේ අවසන් තරගය වූ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඔවුන් වාර්තා කර ගත් ජයග්‍රහණයේ දී කැපී පෙනෙන්නට විය.  

  • රෂේන් ගුණවර්ධන (සාන්ත ජෝසප් විද්‍යාලය)

සිය තුන්වැනි තරග වාරය ක්‍රීඩා කරනු ලබන ‘scrumhalf’ ක්‍රීඩක රෂේන් ගුණවර්ධන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ පළමු වටය අවසානයේ රඳවා ගත් අපරාජිත වාර්තාවට සුවිශේෂී දායකත්වයක් සැපයූ තවත් ක්‍රීඩකයෙකි. තරගාවලියට එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් නොවුනත් සිය ක්‍රීඩා විලාශය වර්ධනය කරගනිමින් පළමු වටය අවසානයේ ප්‍රබල ක්‍රීඩකයෙක් ලෙස ස්ථාපිත වූ ඔහු, සන්තුෂ් අල්ගම සමඟ එක්වෙමින් ගොඩනඟාගත් සුසංයෝගය ප්‍රතිවාදී කණ්ඩායම් වලට ප්‍රබල තර්ජනයක් වන්නට විය.

විශේෂ සඳහන් කිරීම – චමත් කල්හාර (ඉසිපතන විද්‍යාලය)

  • සන්තුෂ් අල්ගම (සාන්ත ජෝසප් විද්‍යාලය)

‘First five-eighth’ ස්ථානයේ අනෙක් ක්‍රීඩකයින් අභිබවමින් පෙරළිකාර දක්ෂතා ප්‍රදර්ශනය කළ සන්තුෂ් අල්ගම අංක 10 ජර්සිය පළමු වරට පලඳිමින් සාන්ත ජෝසප් විද්‍යාලයීය ආක්‍රමණවල දී සුවිශේෂී දක්‍ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් වූයේ නිවැරදි තීරණ ගැනීමේ ද ඉහළ හැකියාවක් පෙන්වමිනි. ඒ අනුව ලකුණු 55ක් වාර්තා කරගනිමින් තරගාවලියේ පළමු වටය අවසානයේ ඉහළම ලකුණු ලාභීන් අතර පළමු ස්ථානය හිමිකරගෙන සිටින්නේ ද ඔහු විසිනි.

විශේෂ සඳහන් කිරීම – තරිඳු වැල්පිටගේ (වෙස්ලි විද්‍යාලය)

  • රවීන් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය)

සිය රග්බි ක්‍රීඩා දිවිය පුරාවට විවිධ ස්ථානවල ක්‍රීඩා කරනු ලැබූ ‘කඩියා’ යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන රවීන් ප්‍රනාන්දු අවසානයේ දී ‘wing’ ස්ථානයේ ස්ථාවර වී ඇති බව පළමු වටයේ දී දැක ගන්නට ලැබුණි. ඒ අනුව පළමු වටය පුරාවට ඔහුගේ ක්‍රීඩා විලාශයෙන් කාගේත් අවධානය දිනා ගත් ඔහු එහි දී උත්සාහක දිනුම් 4කට හිමිකම් කියන්නට සමත් වූ අතර ඒ අනුව තරගාවලියේ දෙවන වටයේ දී ඔහුගේ දක්‍ෂතා ඉදිරියටත් දැක බලා ගැනීමට හැකි වනු ඇති බව නොඅනුමාන ය.

  • මනිල්ක රුබේරු (ඉසිපතන විද්‍යාලය)

කිසිදු විවාදයකින් තොරව මේ වන විට පාසල් රග්බි ලීගයේ සිටින හොඳම, දක්‍ෂතම ක්‍රීඩකයා වන මනිල්ක රුබේරු තරගාවලියේ පළමු වටය අවසානයේ හඳුනා ගත හැකි සුවිශේෂීම සංසිද්ධිය යි. ඒ අනුව ඔහු පළමු වටය පුරාවට ප්‍රදර්ශනය කළ ඉහළ තීරණ ගැනීමේ හැකියාව ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට අතිශය වැදගත් වූ බව නොඅනුමාන ය.

  • තරිඳු මදුරංග (සාන්ත ජෝසප් විද්‍යාලය)

‘Wing’ ස්ථානයේ ක්‍රීඩා කිරීම ආරම්භ කිරීමේ සිට මැදපෙළ ස්ථාවර වීම දක්වා තරිඳු මදුරංග මේ වන විට දිගු දුරක් පැමිණ ඇත. ඒ අනුව තරගාවලියේ පළමු වටයේ දී ඉහළ දක්‍ෂතා ප්‍රදර්ශනය කළ ඔහු උත්සාහක දිනුම් 5කට හිමිකම් කියමින් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමේ තරග දිනවන්නෙක් බවට පත්වන්නට සමත්ව ඇත.

විශේෂ සඳහන් කිරීම් – මනුල රත්නායක (ඉසිපතන විද්‍යාලය), සන්දේශ් ද මැල් (සාන්ත පීතර විද්‍යාලය)

  • ගීෂප කුලතුංග (ත්‍රිත්ව විද්‍යාලය)

මෙම තරග වාරයේ හොඳම සොයා ගැනීම ලෙස හඳුනා ගත හැක්කේ මේ වන විට වැඩිම උත්සාහක දිනුම් ලාභීන් අතර උත්සාහක දිනුම් 6ක් සමඟින් ප්‍රමුඛ ස්ථානය හිමිකරගෙන සිටින මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ගීෂප කුලතුංග යි. මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා යැයි අනුමාන කෙරෙන ඔහු පළමු වටය පුරාවට සිය කණ්ඩායමේ එකම ‘playmaker’ ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට සුවිශාල දායකත්වයක් සපයන්නට සමත් විය.

විශේෂ සඳහන් කිරීම – රමිත ද සිල්වා (ඉසිපතන විද්‍යාලය)

  • මුර්ෂීඩ් සුබායිර් (වෙස්ලි විද්‍යාලය)

කොළඹ වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමේ ‘playmaker’ ක්‍රීඩකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඔවුන්ගේ නායක මුර්ෂීඩ් සුබායිර් ය. මේ වන විට පාසල් රග්බි ලීගය තුළ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් අතරින් කෙනෙක් වන මුර්ෂීඩ් ‘open play’ අවස්ථාවල දී සහ උපායශීලීව ක්‍රීඩා කිරීමේ විශිෂ්ටතමයන් අතරින් ද කෙනෙකි. ‘Fullback’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු කණ්ඩායමේ ‘set-piece’ අවස්ථාවන් රැසක් ලබාගනිමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර මේ වන විට තරගාවලිය තුළ ලකුණු 40ක් වාර්තා කරගන්නට ද සමත්ව ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<