B කාණ්ඩයේ පෙරමුණට ඒමට වෙර දරන තර්ස්ටන්වරුන්

188

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය පසුගිය දා ආරම්භ විය. මෙවර තරගාවලිය අන් කවරදාකටත් වඩා තරගකාරී වන බවට සාක්ෂි පළමු සතිය අවසන් වීමටත් පෙරම දැකිය හැකි විය. 

මේ මෙවර B කාණ්ඩය යටතේ තරග කරන අගනුවර තවත් එක් සුප්‍රකට රග්බි පසුබිමක් සහිත පාසලක් වන කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායම පිළිබඳව ThePapare.com ගෙන එන සටහනකි. 

වෙස්ලි “ද්විත්ව නිල් අකුණු සැරය” 2020 දවා අළු කරන්න සූදානම්

පාසල් රග්බි පිටියේ අභිමානවත් කණ්ඩායමක් වන කොළඹ වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම සිය..

තර්ස්ටන් විද්‍යාලය ‍රග්බි ක්‍රීඩාව සඳහා අත්පොත් තබන්නේ මීට වසර 60කට පමණ පෙරය. රග්බි පිටියේ සිය බල පරාක්‍රමය පතුරවාලූ තර්ස්ටන්වරුන්ගේ රග්බි ඉතිහාසය බොහෝ හැලහැප්පීම් මධ්‍යයේ ඉදිරියට පැමිණි අධිෂ්ඨානශීලී ගමනකි. ක්‍රීඩා කෞශල්‍යයෙන් පරිපූර්ණ ක්‍රීඩකයින් රැසක්  තර්ස්ටන් සංචිතය සතු වූ බවට ඉතිහාසය සාක්ෂි සපයයි. 

කලක සිට B කාණ්ඩය නියෝජනය කරන තර්ස්ටන් කණ්ඩායමට  ජයග්‍රහණය අභියස සිටි තරග කිහිපයක්ම නොසිතූ අන්දමින් පරාජය වීමට සිදු වූ නිසාවෙන් A කාණ්ඩයේ දොරගුළු විවර කරගැනීමට තිබූ පහසු අවස්ථාවන් කිහිපයක්ම ඔවුන් අතින් ඉතා අවාසනාවන්ත අයුරින් ගිලිහී යන්නට විය.

තර්ස්ටන් විද්‍යාලය මොහොමඩ් රිස්කාන් සහ තිසුම් පලිහවඩන දෙදෙනාගේ නායකත්වය යටතේ 2018 සහ 2016 වර්ෂවල දී ප්‍රිමියර් කුසලාන ශූරතාවලියේ ශූරයින් ලෙසත්, ජනිත් දෙනියගේ සහ ඉෂාන් පෙරේරාගේ මෙහෙයවීමේ යටතේ 2014 සහ 2010 තරග වැදී තර්ස්ටනයිට්වරුන් B කාණ්ඩයේ අනුශූරයින් ලෙස ද කිරුළු පැලදීමට සමත් වීම ඔවුන්ගේ ප්‍රධානම ජයග්‍රහණ ලෙස සටහන්ව ඇත. 

1957 දී ආරම්භ වූ තර්ස්ටන් රග්බි වෘතාන්තයේ ප්‍රථම නායකයා වීමේ ගෞරවය හිමිකර ගන්නේ සුරත් වික්‍රමසිංහ මහතාය. තර්ස්ටන් කණ්ඩායම 90 දශකයේ දී පාසල් රග්බි රග්බි ඉතිහාසයේ නොමැකෙන සටහන් රැසක් ද සමඟින් වඩාත් සාර්ථකම යුගය වෙත ඔවුන් පියමැනීමට සමත් විය. ඒ ජනාධිපති කුසලාන ශූරතාවලියේ දී පෙන්වූ කැපී පෙනෙන දක්ෂතා නිසාවෙනි.

1997 සහ 98 යන වර්ෂයන්හී අඛණ්ඩව දෙවතාවක් එම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා තර්ස්ටන් කණ්ඩායම නුවන් කුමාර මහතාගේ නායකත්වය යටතේ 1998 දී ඉසිපතන කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරයින් ලෙස අභිසෙස් ලැබුවේ පාසල් රග්බි ඉතිහාසය තුල නොමැකෙන සටහනක් තබමිනි. 

එවැනිම තවත් සුවිශේෂී මතක සටහනක් ලෙසින් ප්‍රබල ඉසිපතන විද්‍යාලයට එරෙහිව වාර්ෂිකව පැවැත්වෙන අබ්දුල් ජබ්බාර් අනුස්මරණ මහා රග්බි සංග්‍රාමය වසර 37කට පසු 2005 වර්ෂයේ දී විශිෂ්ට ලෙස ජය ගැනීම තර්ස්ටන් රග්බි කතාවේ තවත් එක් සංධිස්ථානයකි. 

තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරමින් මෑත කාලීනව බිහි වූ දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙක් ලෙස අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය නියෝජනය කරන විශ්ව දිනෙත් සහ නිලුපුල් දේවින්ද හඳුන්වා දිය හැක.

අඛණ්ඩව 15 වැනි වතාවටත් ‘Abdul Jabbar’ පලිහ ඉසිපතනයට

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 50 වැනි ‘Abdul Jabbar’ කුසලානය..

පසුගිය තරග වාරය

2018 තරග වාරයේ දී තර්ස්ටන්වරුන් පෙන්වා ඇති දක්ෂතා පිළිබඳ සලකා බැලීමේ දී ඔවුන් B කාණ්ඩය යටතේ මූලික වටයේ තමන් සහභාගී වූ තරග 5න් තුනක ජය සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් විය.

නමුත් මලියදේව සහ ලුම්බිණි කණ්ඩායම් සමඟ පැවති තරගවල දී දැඩි සටනක් ලබා දීමෙන් අනතුරුව පරාජයේ වේදනාව විඳ දරා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයින්ට සිදු වූයේ දෙවන වටයට පිවිසීමට තිබූ ඉතාමත් හොඳ අවස්ථාවක් ඔවුන් අතින් ගිලිහී යාමත් සමඟිනි.

නමුත් එම වාඩුව මකා ගැනීමේ අදිටනින් මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලිය වෙත පිවිසි මොහොමඩ් රිස්කාන් ප්‍රමුඛ තර්ස්ටන්වරුන් අවසන් මහා තරගයේ දී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අභිබවා යමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

පසුගිය වසරේ දී තර්ස්ටන් කණ්ඩායම ඔවුන් ක්‍රීඩා කළ තරග 5න් එක් තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ මහානාම කණ්ඩායම ලකුණු 24-20ක් ලෙස පරාජය කරමිනි. ඔවුන් එම තරගාවලියේ දී සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නංගර විද්‍යාලය හමුවේ ලකුණු 13-12ක් ලෙසත්, ධර්මරාජ විද්‍යාලය හමුවේ 20-18ක් ලෙසත්, විද්‍යාර්ථ විද්‍යාලය හමුවේ 10-06ක් ලෙසත් පරාජය විය. 

මෙවර සූදානම

පසුගිය තරග වාරය ක්‍රීඩා කළ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් මෙන්ම ජවසම්පන්න යොවුන් තරගකරුවන් රැසකගේ සම්මිශ්‍රණයෙන් සන්නද්ධ තර්ස්ටන් බලකාය මෙවර තරගාවලිය සඳහා ගමන් කරන්නේ කෙසේ හෝ B කාණ්ඩයේ ශූරයින් වීමේ ඒකායන බලාපොරොත්තුව මුදුන්පත් කරගැනීමේ අරමුණෙනි.

2020 ඩයලොග් පාසල් රග්බි තරගාවලිය නියෝජනය කරන තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායම 

එම්. ආකීල්, ආර්. පී. එම්. දුල්කිත්, එච්. කේ. රත්නායක, ජී. ඩී. ලක්ශිත, ජේ. වී. ද කොස්තා, එල්. එච්. සංදීප, එල්. බී. වයි. පෙරේරා, ඩී. එච්. වික්‍රමාරච්චි, පී. එම්. වික්‍රමගුණරත්න, සී. කේ. පීරිස්, ඒ. කේ. රුක්ශාන්, වී. පී. කේ. පීරිස්, එල්. කේ. එස්. එස්. නිම්සික, සී. සී. පී. පෙරේරා, ඒ. එස්. ගජසිංහ, ටී. එස්. පෙරේරා, ටී. එම්. ද කොස්තා, ආර්. එල්. ලිත්මන්, ආර්. ආර්. බාසිලු, වයි. එල්. යසස්, ඩී. සී. සුලක්ෂන 

තර්ස්ටන් ප්‍රහාරයෙන් මරාදාන විරුවන් අසරණ වෙයි

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (06) දින රාජගිරියේ ..

තර්ස්ටන් විද්‍යාලයේ මෙවර තරග කාලසටහන 

  • පළමු සතිය – ආනන්ද විද්‍යාලය 
  • දෙවන සතිය – ශ්‍රී සුමංගල විද්‍යාලය 
  • තුන්වැනි සතිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 
  • සිව්වැනි සතිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය 
  • පස්වැනි සතිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <