මූලික වටයේ තරග සියල්ල හමාර කරමින් 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි සති අන්තය අද(13) දී නිමාවට පත් වූයේ ටොංගා, වේල්ස් සහ සත්කාරක ජපානය යන කණ්ඩායම් හට ජයග්‍රහණයන් හිමිකර දෙමිනි.

ඇමරිකාව සහ ටොංගා – C කාණ්ඩය 

අර්ධ අවසන් පූර්ව වටයේ සිහිනය යථාර්ථයක් කරගැනීමට අපොහොසත් වූවත් ලෝක කුසලානයේ තම පළමු ජය වාර්තා කිරීමේ පරමාර්ථයෙන් කණ්ඩායම් දෙකම තරග බිමට පිවිසි අතර ආරම්භක වෙඩිමුරය දියත් කළ ටොංගා ක්‍රීඩකයින් කාලය මිඩංගු නොකොට දිනයේ පළමු ප්‍රවර්තිත උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

ටොංගා ප්‍රහාරයෙන් තැති ගත් එක්සත් ජනපද ක්‍රීඩකයින් තමන් සතු තුරුම්පු සියල්ල භාවිතා කරමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණේ ටොංගා ඉදිරි පෙළ ක්‍රීඩකයින් විසින් එල්ල කළ අභියෝගයන්ට සාර්ථකව පිළිතුරු ලබා දෙමිනි. 

ජෝර්ජියාවට ඕස්ට්‍රේලියාවෙන් හානි!

2019 රග්බි ලෝක කුසලානයේ D කාණ්ඩයේ තවත් තරගයක් අද (11) ජපානයේ ශිසෞකා නුවර දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු….

අපූර්ව කණ්ඩායම් උත්සාහක දිනුම් ද්විත්වයකින් තම ලකුණු පුවරුව සරසා ගත් ඇමරිකානුවන් පළමු අර්ධය නිමා කළේ තරගයේ පෙරමුණ තමන් සතුකර ගනිමිනි. Mike Te’oගේ සුරතින් එම අගනා ලකුණු රැස්කිරීමේ වාර දෙකම වාර්තා වීම වඩාත් කැපී පෙනුණි.

පළමු අර්ධය – ඇ. එ. ජනපදය 12 (2T,1C) – 07 (1T,1C) ටොංගා 

තරගයේ ප්‍රථම භාගයේ දී ටොංගා ක්‍රීඩකයින් හට ධවල රේඛාව අභිබවා ගමන් කිරීමේ ඉතාමත් පහසු අවස්ථාවන් කිහිපයක්ම උදා වූවත් පන්දුව knock on කිරීම, පන්දුව ඉදිරියට යොමු කිරීම (Forward pass) වැනි අත්වැරදීම් කිහිපයක් නිසා ඔවුන්ට එම අගනා ලකුණු රැස්කිරීමේ අවස්ථාවන් මඟහැරී යන්නට විය.

හැඩි දැඩි දේහධාරී පැසිෆික් දූපත්වාසීන් නවතාලීම ඇමෙරිකානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් හට එතරම් පහසු කර්තව්‍යයක් නොවූ අතර ඒ ඇවෑමෙන් තම සුපුරුදු ආක්‍රමණශීලී තරග රටාවට අවතීර්ණ වූ ටොංගා ක්‍රීඩකයෝ තම දුර්වලතා හඳුනා ගනිමින් ඇමරිකා කණ්ඩායම හට දැඩි පීඩනයක් එල්ල කිරීමට යුහුසුලු වූහ.

ඇමරිකානුවන් එක්වරක් ධවල රේඛාව පසුකොට යද්දී තෙවතාවක් එම සීමාව අභිබවා ගමන් කිරීමට ටොංගා පසුපෙළ ක්‍රීඩකයින් වගබලා ගත්තේ තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම දෙසට හරවා ගනිමිනි. ටොංගා නායක Piutua ඉතාමත් දක්ෂ අයුරින් තරගය පුරාවට තම කණ්ඩායම මෙහෙයවමින් තරග වැදුණු ආකාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

අවසන් ලකුණු තත්වය – ඇ. එ. ජනපදය 19 (3T,2C) – 31 (4T,4C,1P) ටොංගා

  • තරගයේ වීරයා – Siale Piutau (ටොංගා)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ඇ.  එ.ජනපදය – Mike Te’o (2T), Tony Lamborn (1T), Alan Macginty (2C) 
  • ටොංගා – Seigfried Fisiihoi (1T), Siale Piutau (1T,1C), Mali Hingano (1T), Telusa Veainu (1T), Sonatane Takulua (2C,1P), James Faiva (1C)

වේල්සය සහ උරුගුවේ – D කාණ්ඩය 

D කාණ්ඩයේ ශූරයින් ලෙසින් පිළිමළුන් පිටුදැකීමේ වටයට ගමන් කිරීමේ අරමුණින් තරග බිමට වේල්ස් ක්‍රීඩකයින් හට තරග ආරම්භයේ සිටම තියුණු සටනක් ලබා දීමට උරුගුවේ කණ්ඩායමේ වගබලා ගත්තේ, ලකුණු රැස්කිරීමේ අවස්ථා උපක්‍රමශීලීව වළකාලමිනි.

වේල්සයේ බලාපොරොත්තු යම් තරමක් හෝ ඉහළ නැංවීමට Nicky Smith සමත් වූයේ දර්ශනීය ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. වේල්ස් ආරක්ෂක වැටෙන් රිංගා යාම එතරම් පහසු නොවන බව අවබෝධ කරගත් ලතින් ඇමෙරිකානුවන් ලද අවස්ථාවෙන් උපරිම ථල නෙලාගත්තේ දඬුවම් පහර ද්විත්වයක් සාර්ථක කරගනිමිනි.

පළමු අර්ධය: වේල්ස් 07 (1T,1C) – 06 (2P) උරුගුවේ

එක් ලකුණක පරතරය සමඟින් විවේක කාලය වෙත ගමන් කළ උරුගුවේ ක්‍රීඩකයින්ගෙන් සම්පූර්ණයෙන්ම පාහේ තරගය උදුරා ගැනීමට ලොව අංක 2 ස්ථානයේ වැජඹෙන වේල්ස් ක්‍රීඩකයින් සමත්කම් දැක්වූයේ විශිෂ්ට ප්‍රවර්තිත උත්සාහක දිනුම හතරක් සහ එක් දඬුවම් උත්සාහක දිනුමක් ද සමඟිනි. 

ඉතාලි නායකයා ලුණු ඇඹුල් ඇතිව මාධ්‍ය අමතයි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියෙහි එළඹෙන සතිඅන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ ප්‍රධාන තරග…..

ප්‍රබල වේල්ස් පසුපෙළ පසුකොට යෑමට අමතර වෙහෙසක් දැරීමට සිදු වූවත් ගොඩනැඟීමේ වාර කිහිපයක් උපයෝගී කර ගනිමින් ධවල රේඛාව අසලට පන්දුව රැගෙන ගිය උරුගුවේ ක්‍රීඩකයින් හට ගෞරවාන්විත පරාජයක් හිමිකර දීමට German Kesslerගේ ප්‍රවර්තිත උත්සාහක දිනුමට හැකි විය.

ඒ අනුව මූලික වටයේ සියලුම තරග ජය ගනිමින් සුපිරි 8දෙනාගේ වටයට ශක්තිමත් අඩිතාලමක් සකස්කර ගත් වේල්ස් ක්‍රීඩකයෝ එළඹෙන සති අන්තයේ දී ප්‍රංශ කණ්ඩායම සමඟ මුහුණට මුහුණ සටන් වැඳීමට දින නියම කරගත්හ.

අවසන් ලකුණු තත්වය: වේල්ස් 35 (4T,1PT,4C) – 13 (1T,1C,2P) උරුගුවේ

  • තරගයේ වීරයා – Leigh Pennyworth (වේල්ස)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • වේල්ස් – Nicky Smith (1T), Josh Adams (1T), Gareth Davis (1T), Tomos Ellis Williams (1T), Leigh Halfpenny (4C)
  • උරුගුවේ – German Kessler (1T), Felipe Berchesi (1C,2P)

ජපානය සහ ස්කොට්ලන්තය – A කාණ්ඩය

අවසන් මහා තරගයක අසිරිය ගත් මෙම තීරණාත්මක මූලික වටයේ තරගය ජය ගැනීම බෙහෙවින්ම වැදගත් වූයේ ස්කොට්ලන්ත ක්‍රීඩකයින්ට වන අතර ලෝක කුසලාන සිහිනය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ඔවුන්ට අතිරේක ප්‍රසාද ලකුණක් ද සමඟින් මෙම තරගය ජයගත යුතුව තිබුණි.

එම අධිෂ්ඨානය පෙරදැරිව පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයින් ප්‍රේක්ෂකගාරය නිහඬ කරමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් ප්‍රතිවාදීන් හට ලබා දෙමිනි.

මෙච්චර හොඳට සෙල්ලම් කළේ ආබාධයක් එක්ක ද?

නවසීලන්ත සුපිරි ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා මෙවර ලෝක කුසලානයේදීත් සුපිරි දස්කම් දක්වන්නේ පාදයේ…..

එම අනතුරු ඇඟවීම තඹයකට මායිම් නොකළ නායක Micheal Leitch ජපන් ක්‍රීඩකයින් දැකුම්කළු ප්‍රවර්තිත උත්සාහක දිනුම තුනකින් ප්‍රතිප්‍රහාර එල්ල කළේ ස්කොට්ලන්තය වික්ෂිප්ත කරමිනි. 

ලෝක කුසලාන තරගාවලියේ තම 5වන උත්සාහක දිනුම වාර්තා කළ Matsushima ජපානයට අවශ්‍ය කර තිබූ ජවසම්පන්න ආරම්භය සැපයූ අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ Inagaki සහ Fukuoka දෙපල එම ගොඩනැඟූ රිද්මය එලෙසින්ම පවත්වා ගෙන යාමට සමත් විය.

 පළමු අර්ධය: ජපානය 21 (3T,3C) – 07 (1T,1C) ස්කොට්ලන්තය

දෙවන අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව කල්වේලා ගත නොකට දිනයේ තම දෙවන උත්සාහක දිනුම කණ්ඩායම වෙත දිනා දුන් Fukuoka අමතර ප්‍රසාද ලකුණේ වාසිය ද ජපන් කණ්ඩායමට දිනා දීමට මූලිකත්වය ගත්තේය.

කෙසේ නමුත් මෙය තමන්ට ලැබී තිබෙන අවසන් වරම බව අවබෝධ කර ගත් ස්කොට්ලන්ත ක්‍රීඩකයින් විනාඩි 5ක් වැනි කෙටි කාලසීමාවක් තුල දෙවතාවක් උත්සාහක දිනුම් රේඛාව අභිබවා දිව ගියේ තරගයේ ජයග්‍රහණය දෙපිලටම විවෘත කරදෙමිනි. 

Willem Nel සහ Fagerson දෙපල එලෙස ස්කොට්ලන්ත අපේක්ෂාවන්ට පණ පෙව්වත් තරගය ජය ගැනීමට තරම් ඔවුන්ගේ එම වෑයම ප්‍රමාණවත් නොවීය.

තම අන්තයේ ආරක්ෂාව උපරිමයෙන් තරකරගත් ජපානය උපායශීලීව ස්කොට්ලන්තයට ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථාවන් අහුරාලීමට සමත් විය. ඒ අනුව A කාණ්ඩයේ අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ජපානයට හැකි වූ අතර පිළිමළුන් පිටුදැකීමේ වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදියා බවට පත්වන්නේ ප්‍රබල දකුණු අප්‍රිකාවයි.

 අවසන් ලකුණු තත්වය: ජපානය 28 (4T,4C)  – 21 (3T,3C) ස්කොට්ලන්තය

  • තරගයේ වීරයා – Kenki Fukuoka (ජපානය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ජපානය – Kotaro Matsushima (1T), Keita Inagaki (1T), Kenki Fukuoka(2T),  Yu Tamura (4C)
  • ස්කොට්ලන්තය – Finn Russel (1T), Willem Nel (1T), Zander Fagerson (1T) Greig Laidlaw (3C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<