ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්වාර පුහුණුකරුවන් දෙදෙනෙක්

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

1349
Rumesh Ratnayake

එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබෙනවා.

රුවීන් පීරිස් මහතා මේ සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

රුමේෂ් රත්නායක මහතා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එහි පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින්නේ රුවීන් පීරිස් මහතායි.

රුමේෂ් රත්නායක මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ Mickey Arthur සහ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ Grant Flower සිය වසර දෙකක ගිවිසුම් කාලය අවසන් කරමින් නික්ම යාම නිසා හිස්වුනු තනතුරු සඳහා මේ පත්කිරීම් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය 14 වැනිදායින් අවසන් වූ අතර 30 දෙනෙකු පමණ එම තනතුර සඳහා අයදුම්පත් යොමු කර තිබෙන බව වාර්තා වුනා.

එවන ලද අයදුම්පත් සැලකිල්ලට භාජනය කරමින් ඒවායින් තෝරා ගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ වගකීම 6 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවකට ලබා දී තිබෙනවා.

මේ වන විට ලැබී ඇති අයදුම්පත් සියල්ලම ක්‍රිකට් උපදේශක මණ්ඩලයට සහ තාක්ෂණික කමිටුවට ලබා දී ඇති අතර ඒවායින් කිහිපයක් තෝරාගැනීමේ වගකීම ඔවුන් වෙත පවරා තිබෙන බව ඈෂ්ලි ද සිල්වා මහතා Daily Ft පුවත්පත වෙත පසුගිය දා පවසා තිබුණා.

තවත් සති දෙකකින් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම කාර්ය බහුල කාලයක් එළඹෙන බැවින් හැකි ඉක්මනින් සැලකිල්ලට ගනු ලබන අයදුම්පත් සංඛ්‍යාව අඩු කිරීමටත්, අපේක්‍ෂකයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 10 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර 2023 ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් ලෙස පැවැත්වෙන තරගාවලියේ තරග සියල්ල දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

එය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 8, 2023 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ශ්‍රී ලංකාව දැනට එහි 6 වැනි ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම 13 වැනි ස්ථානයේ පසුවනවා.

සිම්බාබ්වේ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2017 වසරේ දී වන අතර ඒ එක්දින තරග 5කින් යුත් තරගාවලියක් සඳහායි. ගාල්ලේ සහ හම්බන්තොට දී පැවැත්වුණු එම තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ සමත් වුනා.

සිම්බාබ්වේ තරගාවලියේ එක්දින තරග 3ට අමතරව විස්සයි විස්ස තරග 3ක් පවත්වන්න අපි උත්සාහ කළා, නමුත් අවාසනාවකට අපිට එය කරගන්න බැරි වුනේ, ඕස්ට්‍රේලියානු තරගාවලිය ආරම්භ වීමට දින 14කට පමණ පෙර ඕස්ට්‍රේලියාවට යාමට සිදු විය හැකි නිසා, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති නිසයි”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පසුගිය දා පැවසුවා.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා පෙබරවාරි මුල් සතියේ දී ඕස්ට්‍රේලියාව බලා පිටව යාමට නියමිත අතර එම තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන්පසුව පෙබරවාරි මාසය අවසානයේ දී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකක් සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව බලා යාමට ද සූදානමින් සිටිනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<