All blacks සහ Springboks සුභ මොහොතෙන් වැඩ අල්ලයි!

191

2019 රග්බි ශූරතා තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් පළමු වටයේ තරග ද්විත්වය ඊයේ (20) දිනයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් සහ ආර්ජෙන්ටිනාවේ බුවනෝර්ස් අර්යස් අගනගරයන් කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු අතර එහි දී සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟත්, ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ආර්ජෙන්ටිනා කණ්ඩායමට එරෙහිවත් තරග බිමට පිවිසුණි.

තරග තීරකට විශේෂ මතක ඉතිරි කළ 2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය විනිශ්චය කළ තරග තීරක නයිජල් ඔවන්ස් ඔහුගේ…

දකුණු අප්‍රිකාවෙන් හොඳ සංග්‍රහයක්!

ආරම්භයේ සිටම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව සක්‍රීය කිරීමේ ගෞරවය හිමිකර ගැනීමට Springbok කණ්ඩායම සමත් විය. 

ඕස්ට්‍රේලියානු ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් මුලා කරමින් ඉදිරියට ඇදුණු හර්ෂල් ජ්‍යන්ජීස් ඉතා පහසුවෙන් ධවල රේඛාව ඉක්මවා ගියේ තම කණ්ඩායමට අවශ්‍ය කර තිබූ ශක්තිමත් අඩිතාලමට මඟ සකසා දෙමිනි. එහි අමතර ලකුණු එක්කිරීමේ කාර්‍යභරය එල්ටන් ජ්‍යන්ජීස් විසින් සාර්ථකව ඉටු කරන ලදි. (ද.අප්‍රිකාව 07 – 00 ඕස්ට්‍රේලියාව)

දකුණු අප්‍රිකානු ආරක්ෂක පෙළ අතින් සිදු වූ අත්වැරදීමක් උපයෝගී කරගනිමින් දඬුවම් පහර අවස්ථාවක් උදාකරගත් බර්නාඩ් ෆෝලි ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු රැස්කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය මූලාරම්භය ලබා දෙමිනි. (ද.අප්‍රිකාව 07 – 03 ඕස්ට්‍රේලියාව)

එයට සාර්ථක පිළිතුරක් ලබා දුන් ලොඩ්වික් ඩී ජැගර් ඇතුළු දකුණු අප්‍රිකානුවන් දිනයේ දෙවන ප්‍රවර්තිත උත්සාහක දිනුම වාර්තා කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ මුල් කාර්තුවේ දී ම ප්‍රබල තර්ජනයක් එල්ල කරමිනි. (ද.අප්‍රිකාව 14 – 03 ඕස්ට්‍රේලියාව)

රග්බි කියන්නේ චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නෙවෙයි – සුපිරි ක්‍රීඩක ඩෑන් කාටර්

ඩෑන් කාටර්ගේම සුන්දර සටහනක්… මට යාන්තමින් වයස අවුරුදු පහක් වෙද්දී මම තනිවම කණ්ණාඩිය…

නමුත් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දියත් කිරීමට නම් දරා සිටින Wallabies කණ්ඩායම පළමු අර්ධය නිමා වීමට මත්තෙන් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ තරගය නැවත වතාවක් කණ්ඩායම් දෙකටම විවෘත කර දෙමිනි. එහි දී හෙයිලේට් පෙටී ධවල රේඛාව ඉක්මවා යමින් සහ බර්නාඩ් ෆෝලි ලකුණු ද්විත්ය සාර්ථකව එක්කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු තීරුව සවිගැන්වීමට දායක විය. (ද.අප්‍රිකාව 14 – 10 ඕස්ට්‍රේලියාව)

පළමු අර්ධය – දකුණු අප්‍රිකාව 14 (2T,2C) – 10 (1T,1C,1P) ඕස්ට්‍රේලියාව 

විවේක කාලයෙන් අනතුරුව පිටියට පිවිසුණු කණ්ඩායම් දෙකේ ක්‍රීඩා රටාවන්ගේ සහ යොදාගත් උපායමාර්ගයන්ගේ පැහැදිලි වෙනසක් දැකගැනීමට හැකි වූ අතර තම කණ්ඩායමේ වේගය පිළිබඳ වැඩි විශ්වාසයක් තැබූ Springbok ක්‍රීඩකයින් ඕස්ටේලියානු අන්තය දිගින් දිගටම ආක්‍රමණය කරමින් ඔවුන්ගේ දුර්වල ස්ථානයන්ට පහර එල්ල කිරීමට වඩාත් යුහුසුලු විය.

එසේ ඉතාමත් සූක්ෂමව තම තරග සැලසුම් අකුරටම ක්‍රියාත්මක කළ  ද.අප්‍රිකානුවන් තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුම ත්‍රිත්වයකින් ඕස්ට්‍රේලියානුවන් හට සංග්‍රහ කළේ තරගය පිළිබඳ ඔවුන්ගේ තිබූ අපේක්ෂාවන් සියල්ල සුනුවිසුනු කර දමමිනි. 

කෝබස් රෙයිනැච් සහ රෝමියෝ නිකෝසි එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළ අතර දිනයේ තම දෙවන උත්සාහක දිනුමට හිමිකම් කී හර්ෂල් ජ්‍යන්ජීස් මංගල තරගයේ දී ම පෙන්වූ මෙම සුවිශේෂී දක්ෂතාවය බොහෝ දෙනාගේ පැසසුමට භාජනය විය. (ද.අප්‍රිකාව 35 – 10 ඕස්ට්‍රේලියාව)

ජනාධිපති කුසලානය නැවත වතාවක් පීතරයින් ඩැහැගනී

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මෙන්ම මෙවර පාසල් රග්බි තරගවාරය…

අසීරු අඩියකට ඇඳ වැටී සිටි තම කණ්ඩායමට තරමක හෝ අස්වැසිල්ලක් ගෙන දීමේ අරමුණින් හුදකලා සටනක නිරත වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බර්නාඩ් ෆෝලි ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය තරමක් හෝ අවම කරගැනීමට උනන්දු විය. (ද.අප්‍රිකාව 35 – 17 ඕස්ට්‍රේලියාව)

ඒ අනුව දිනය අවසානයේ දී උත්සාහක දිනුම 5ක් සිය ගිණුමට බැර කර ගත් ද.අප්‍රිකානුවන් අමතර ප්‍රසාද ලකුණක් ද දිනා ගනිමින් ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: දකුණු අප්‍රිකාව 35 (5T,5C) – 17 (2T,2C.1P) ඕස්ට්‍රේලියාව 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

දකුණු අප්‍රිකාව 

  • උත්සාහක දිනුම් – හර්ෂල් ජ්‍යන්ජීස් 2, ලොඩ්වික් ඩී ජැගර් 1, රෝමියෝ නිකෝසි 1, කෝබස් රෙයිනැච් 1
  • ප්‍රවර්තන – එල්ටන් ජ්‍යන්ජීස් 5

ඕස්ට්‍රේලියාව 

  • උත්සාහක දිනුම් – බර්නාඩ් ෆෝලි 1 , ඩේන් හෙයිලේට් පෙටී 1
  • ප්‍රවර්තන – බර්නාඩ් ෆෝලි 2
  • දඬුවම් පහර – බර්නාඩ් ෆෝලි 1

නවසීලන්තයෙන් සාර්ථක ආරම්භයක්!

සත්කාරක පිලේ වාසිය ද තම ඇතිතව තරගයට පිවිසි ආර්ජෙන්ටිනාව ආරම්භයේ සිටම නවසීලන්ත බල ප්‍රදේශය ආක්‍රමණය කිරීමට ප්‍රබල මෙහෙයුම් කිහිපයක්ම දියත් කළ අතර එම නිසාවෙන් මුල් විනාඩි කිහිපය තුල දී All blacks ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් දැඩි පීඩනයකට මැදිව ක්‍රීඩා කරනු දැකගන්නට ලැබුණි.

එම නිසාවෙන් නවසීලන්ත ක්‍රීඩකයින් අතින් පන්දුව knock on වීම් සහ පන්දුව නිසි කාලසීමාව තුල මුදා නොහැරීම වැනි අත්වැරදීම් කිහිපයක් සිදු වුණු අතර එවැනි අවස්ථා දෙකක දී උපරිම ඵල නෙලා ගත් නිකොලස් සැන්චේස් සහ එමෙලියානෝ බොෆෙල්ලි, උපයා ගත් දඬුවම් පහර ද්විත්වයම සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරීමට සමත් විය. (ආර්ජෙන්ටිනාව 06 – 00 නවසීලන්තය)

එතෙක් වේලා නිද්‍රාශීලිව සිටි නවසීලන්ත ඉදිරිපෙළ තරගයට නව ජීවයක් එක්කරමින් අපූර්ව ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ පෙරමුණ පළමු වතාවට තම කණ්ඩායම සතුකර දෙමිනි. නගානි ලොමේප්ගේ සාර්ථක වෑයමට වටිනාකමක් එක්කරමින් බියුඩින් බැරට් අමතර ලකුණු එක්කිරීමේ කාර්‍ය නිසියාකාරව ඉටු කරන ලදි. (ආර්ජෙන්ටිනාව 06 – 07 නවසීලන්තය)

>>තවත් එක් රග්බි විරුවෙකුගේ දිවිගමන එසේ නිමා විය

ඉන්පසු ගත වූ මිනිත්තු කිහිපය තුල දී දෙපිලේම ක්‍රීඩකයින් හට ලකුණු පුවරුව පණගැන්වීමේ අවස්ථාවන් කිහිපයක්ම උදා වූ නමුත් ඒවායින් හරිහැටි ප්‍රයෝජනයක් ගැනීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය.

කෙසේ නමුත් 20 වැනි විනාඩියේ දී ආර්ජෙන්ටිනාව වෙනුවෙන් නිකොලස් සැන්චේස් එක් දඬුවම් පහරක් සහ 22 වැනි සහ 36 වැනි විනාඩියන් හී නවසීලන්තය වෙනුවෙන් බියුඩින් බැරට් දඬුවම් පහර ද්විත්වයක් සාර්ථක කරගනිමින් ලකුණු පුවරුව පෝෂණය කිරීමට දායක විය. (ආර්ජෙන්ටිනාව 09 – 13 නවසීලන්තය)

පළමු අර්ධය නිමාව දැකීමට විනාඩි දෙකකටත් අඩු කාලසීමාවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ නවසීලන්ත කණ්ඩායමේ බෝර්ඩි රෙටාලික් අලංකාර offload කිරීමකින් තම ග්‍රහණයට නතු වූ පන්දුව ඉතා ආරක්ෂිතව උත්සාහක රේඛාව අභිබවා රැගෙන යාමට සමත් වූ අතර බියුඩින් බැරට් අසීරු කෝණයකින් වූවත් තමා වෙත ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව ලකුණු ද්විත්වයක් බවට පරිවර්තනය කිරීමට සමත්කම් දැක්විය. (ආර්ජෙන්ටිනාව 09 – 13 නවසීලන්තය)

පළමු අර්ධය: ආර්ජෙන්ටිනාව 09 (3P) – 20 (2T,2C,2P) නවසීලන්තය

දෙවන අර්ධය නවසීලන්ත ක්‍රීඩකයින් අපේක්ෂා කළ තරම් පහසු එකක් නොවූයේ ආරම්භයේ සිටම ආර්ජෙන්ටිනා කණ්ඩායම තර්ජනාත්මක ආක්‍රමණයන් දාමයක් නවසීලන්තයට  එරෙහිව දියත් කළ නිසාවෙනි.

එම උත්සහයන් මල්ඵල ගන්වමින් අවසානයේ දී තම කණ්ඩායමට ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමේ සතුට සැමරීමේ භාග්‍ය උදාකරදීමට ආර්ජෙන්ටිනා ක්‍රීඩක එමෙලියානෝ බොෆෙල්ලි සමත් වූ අතර ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය ද එක්කර දෙමින් එහි වටිනාකම තවත් ඉහළ නැංවීමට සැන්චේස් හට හැකි විය. (ආර්ජෙන්ටිනාව 16 – 20 නවසීලන්තය)

ඉන්පසු ගත වූ කාලසීමාව තුල දී දෙපිලේම ක්‍රීඩකයින් හට එකදු ලකුණක්වත් රැස්කර ගැනීමට නොහැකි වූ අතර කණ්ඩායම් දෙකේම ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂ උපායශීලී ක්‍රීඩා රටාව මේ සඳහා මූලිකවම හේතු පාදක විය.

මෙම අර්ධයේ දී ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු රැස්කිරීමේ මාර්ගයන් සියල්ලම පාහේ අහුරාලමින් ඔවුන් නිහඬව තබා ගැනීම සඳහා ලබා දුන් සටන්කාමී තරග විලාසය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට බඳුන් විය.

අවසන් ලකුණු තත්වය: ආර්ජෙන්ටිනාව 16 (1T,1C,3P) – 20 (2T,2C,2P) නවසීලන්තය

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

ආර්ජෙන්ටිනාව 

  • උත්සාහක දිනුම් – එමෙලියානෝ බොෆෙල්ලි 1
  • ප්‍රවර්තන – නිකොලස් සැන්චේස් 1
  • දඬුවම් පහර – නිකොලස් සැන්චේස් 2, එමෙලියානෝ බොෆෙල්ලි 1

නවසීලන්තය

  • උත්සාහක දිනුම් – බෝර්ඩි රෙටාලික් 1, නගානි ලොමේප් 1
  • ප්‍රවර්තන – බියුඩීන් බැරට් 2
  • දඬුවම් පහර – බියුඩීන් බැරට් 2

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<